negombo-incident

පොලිස් අණනොතකා ධාවනය කළ යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුට ආරක්ෂක හිස් වැසුම්වලින් පහර දී තුවාල කළ

නාවික හමුදා භටයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය කියයි.  පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයකු  හා කොස්තාපල්වරයකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් සීදුව ස්කාගාර පාරේ පෙරේදා (01) සවස ක්ෂණික මාර්ග බාධකයක් දමා රථවාහන පරීක්ෂා කරමින් සිටිය දී වේගයෙන් ගමන් ගත් තිබූ යතුරු පැදියක් නැවැත්වීමට සංඥා කර ඇති බව පොලිසිය පවසයි.



සැකකරුවන් පොලිස් සංඥා  නොතකා යතුරු පැදිය ඉදිරියට ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියකින් පසු පස හඹා ගොස් සීදුව නගරය ආසන්නයේ දී එය නවත්වා ගෙන ඇති බව පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේ දී ඔවුන් බීමතින් සිටි බවට අනාවරණය වී ඇති අතර ඔවුන් පරීක්ෂා කිරීම සඳහා පොලිස් ස්ථානයට රැගෙන යාමට උත්සාහ කිරීමේ දී සැකකරුවන් එය වළක්වමින් පොලිස් නිලධාරීන් දෙදෙනාට ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී ඇති බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවකු ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන භටයකු වන අතර සෙසු සැකකරු සීදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක