ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරානි පීරිස් මහත්මියගේ ළාබාල දියණිය නෙතාෂා පසුගිය 11 වනදා මැලේසියාවේදී ජීවිතයෙන් සමුගත් පුවත බොහෝ දෙනෙකුට කම්පනයක් ඇති කර තිබුණි.
2003 අගෝස්තු 31වෙනිදා උපත ලද නෙතාෂා රූමන්ති පීරිස් මියයනවිට වයස 19 ක් පමණි. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හදාරා 2020 වසරේ ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇය ඉන්පසු ඇගළුම් හා විලාසිතා ආශ්රිත වැඩිදුර අධ්‍යාපනය සඳහා මැලේසියාවේ මොනැෂ් සරසවියට ගොස් තිබුණි.
එරටදී ඇය මුල් කාලයේ ශ්‍රී ලංකාවෙන් ගිය යෙහෙළි කණ්ඩායමක් සමග එක්ව සරසවි අධ්‍යාපනය සඳහා සහභාගී වූ බවත් පසුව මෑතක සිට තනිව වාසය කරන මහල් නිවාස ඒකක නිවස්නයක නැවතී සරසවියට ගිය බවත් වාර්තාවී තිබේ.
ඇය තනිව වාසය කළත් නිරන්තරයෙන් ඇය ගැන මෙරට සිට පවුලේ අය සොයා බලා තිබුණ අතර ඇය මරණයට පත්වූ දිනයේ වෙනදා මෙන් මව ලබාගත් ඇමතුමට ඇයව සම්බන්ධ කරගන්නට නොහැකිවීම මත ඇයට කරදරයක් සිදුව ඇති බවට සැකයක් මතුව තිබුණි.
එරට වෙසෙන හිතමිත්‍රාදීන්ට දන්වා ඇය ගැන සොයා බලන්නට පවුලේ අය කටයුතු කළ නමුත් නිවාස ඒකක බලධාරීන්ගේ නීතිරීති අනුව දොරක් කඩා නිවසක කාමර පරීක්ෂා කිරීමේ හැකියාව එක්වරම නොපැවති බවත් මේ නිසා නාන කාමරයේ සිහිසුන්ව සිටි ඇය වෙත සහායකයෙකුගේ ළඟාවීම එකී හේතු මත ප්‍රමාද වූ බවත් පැවසිණි.
වාර්තාවූ ආකාරයට ඇය පරීක්ෂා කර බලන අවස්ථාව වනවිටත් මියගොසින්ය.
මරණයට හේතුව ‘ඇගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ‘ හේතු මත අනාවරණය කර නැත. අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල විවිධ කතන්දර ගොතා ඇති නමුත් ඒවා තහවුරු කර ඇති ඒවා නොවන අතර අවාසනාවන්ත ලෙස අඩු වයසින් මරණයට පත්වූ ඇය ගැන ඊට වඩා ප්‍රසිද්ධ කිරීමද ඇයට හානියකි.
තිරානි පීරිස් මහත්මිය ඇගේ සැමියා ගීතාල් මෙන්ම මියගිය නෙතාෂාගේ වැඩිමල් සොයුරා මෙම අවස්ථාවේ වඩාත් දුකට පත්වූ අය අතර සිටී.
අන්තර්ජාලයේ අදහස් පළ කර ඇති අය දන්වා තිබෙන විස්තර අනුව නෙතාෂා බුදු දහමට බෙහෙවින් නැඹූරුය. ඇය දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවකි. වයස 10 සිට මස් මාංශ අනුභවය පවා අතහැර ඇති තැනැත්තියකි. ඇයගේ උපන්දින වෙනුවෙන් ඇය සාද පවත්වනවාට වඩා දානමය පිංකම් සිදුකිරීමට උනන්දුවූ තැනැත්තියකි.
මියගිය නෙතාෂාගේ දේහය 19, කින්රෝස් ඇවනිව්, බම්බලපිටිය නිවසේ මේ වනවිට තැන්පත් කර ඇතිඅතර අද (17) බදාදා සවස 4 ට නිවසින් පිටත්ව අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන්නට කටයුතු යොදා තිබේ.
0 Comments