නුවරඑළිය නගරයේ තට්ටු හතරට වඩා ගොඩනැගිලි 25 ක් තිබෙන බවත්, ඉන් ගොඩනැගිලි 22 ක්ම සංචාරක හෝටල් බවත් සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.

නුවරඑළියේ තට්ටු ගොඩනැගිලි නගරයේ සුන්දරත්වය අඩුවීමට බලපා තිබෙන බැවින්, නගරයේ ගොඩනැගිලි තට්ටු හතරකට සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළියේ කරන ලද සංචාරයකදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



ඒ අනුව නගරයේ දැනට ඉදිකර තිබෙන තට්ටු හතරට වැඩි ගොඩනැගිලිවල ඉහළ තට්ටු ගලවා දැමීමට හෝ පරිසරයට ගැළපෙන පරිදි වෙනස් කිරීම සම්බන්ධව සොයාබැලීමට කමිටුවක්ද පත් කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය, නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් මෙම කමිටුවේ සාමාජිකත්වය දරන්නේය.

නුවරඑළිය මහ නගර සභාව විසින් නගරයේ තට්ටු ගොඩනැගිලි සම්බන්ධව පසුගියදා කරන ලද සමීක්ෂණයේදී අනාවරණය වූයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිසිය ස්ථාපිත කර තිබෙන ගොඩනැගිලි තට්ටු හතරකට වඩා වැඩි බවය.

එමෙන්ම තට්ටු හතරට වඩා වැඩි ගොඩනැගිලි 22 ක්ම අයත් වන්නේ සංචාරක හෝටල්වලටය.

නුවරඑළිය නගරයේ අලුතින් විවෘත කරන ලද තරුපහේ සංචාරක හෝටලයකට අයත් ගොඩනැගිලි දෙකක්ද මීට අයත්ය.

මේ අනුව අදාළ ගොඩනැගිලිවල තට්ටු හතරට ඉහළින් පිහිටි මහල් පරිසරයට ගැළපෙන පරිදි වර්ණය වෙනස් කිරීම හෝ එම තට්ටුවල ගස් සිටුවීම සම්බන්ධව කමිටුවේ අවධානය යොමුවී තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවසීය.

මෙම ගොඩනැගිලිවල තට්ටු කඩා දැමීම ගොඩනැගිල්ලේ ව්‍යුහයට බලපෑමක් එල්ල කරන බැවින් ගොඩනැගිල නුවරඑළිය පරිසර පද්ධතියට ගැළපෙන පරිදි වෙනස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

සාලිය කුමාර ගුණසේකර