oman-invester-alus

පසුගිය මාර්තු මාසයේදී රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධට සම්බන්ධ පිරිසක් විසින් පහරදුන් කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක ඕමාන් ආයෝජකයා ශ්‍රී ලංකාව හැර නොයෑමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ ඕමාන ආයෝජකයා අතර ඊයේ (09) පැවති සාකච්ඡාවකදී මෙම සහතිකය ලබාදී ඇත.


අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවට කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයාද සහභාගී වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඕමාන ආයෝජකයාගේ ආරක්‍ෂාව තහවුරු කරන බවත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති බවත් අමාත්‍ය අලස් මහතා ඕමාන ආයෝජකයාට දන්වා තිබිණි.


මේ සම්බන්ධයෙන් සිය සතුට පළ කළ ඕමාන් ආයෝජකයා අමාත්‍ය අලස් මහතාට දන්වා සිටියේ එම සාකච්ඡාව මත පදනම්ව කර්මාන්ත ශාලාවේ කටයුතු වසා නොදැමීමට හෝ ශ්‍රී ලංකාවෙන් පිටව නොයෑමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, මෙම කම්හල කටානේ පවතින ස්ථානය වෙනස් කර ආරක්ෂාව වැඩිපුර ඇති ස්ථානයක් ලබාදීමට රජය කැමැත්ත පළ කර ඇති අතර ඒ පිළිබඳව ඔහුගේ පවුලේ අය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඕමාන ආයෝජකයා පැවසීය.