රටේ දරුවන්ට නිසි ලෙස ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන බවත්, වයස අවුරුදු 13ට ඉහළ පාසල් දරුවන්ට යම් ලිංගික අධ්‍යාපනයක් ලබා දුන්නත් ඊට වඩා අඩු වයස් කාණ්ඩවල දරුවන් අපයෝජනයට ලක්වන බවත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ පබාසරි ගිනිගේ මහත්මිය සඳහන් කළාය. මේ නිසා පළමු වසරේ සිට හෝ දරුවන්ට තේරුම් ගත හැකි අයුරින් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුව තිබෙන බවද, අඩු වයසේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන රටවල දරුවන් ලිංගික කටයුතුවලට යොදා ගැනීම් අඩු බවද පැවසුවාය.
ඊයේ (15දා) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මනෝ වෛද්‍ය විශේෂඥ පබාසරි ගිනිගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, "ලිංගික අධ්‍යාපනය පිළිබඳව ලෝකයා සොයාගත් කරුණුවලට අනුව එම අධ්‍යාපනයේ නරකක් නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. ලිංගික අධ්‍යාපනය ලබා දීම පිළිබඳව කියවෙන්නේ හොඳ දේවල් විතරයි. ලිංගික අධ්‍යපනයක් ලබා දෙනවා කියන්නේ වයසට ගැළපෙන ආකාරයට දැනුමක් ලබා දීම. ලිංගික වශයෙන් හරි දේ මොකක්ද, වැරදි මොකක්ද කියලා කතා කරන්න ඕනෑ, තමන්ට අතවරයක් හෝ ආසා නැති දෙයක් දරුවකුට සිද්ධ වෙනාවා නම් ඒ දරුවාට තේරෙනවා ඒ කරන්නේ වැරදි දෙයක් බව. මේ නිසා ලිංගික අධ්‍යාපනය හරියට රටක් වශයෙන් දෙන්න පුළුවන් නම් වරින් වර අහන්න ලැබෙන අවාසනාවන්ත සිද්ධීන් වළක්වා ගන්න පුළුවන්.”යනුවෙනි.
ඉන්දික හේවාවිතාරණ
0 Comments