pakistani-woman-everest

පාකිස්තාන ජාතික කඳු නගින්නියක වන නායිලා කිආනි ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කිරීමට පසුගියදා සමත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව, එවරස්ට් තරණය කළ දෙවැනි පාකිස්තාන ජාතික කාන්තාව බවටද ඇය ඉතිහාසයට එක්ව තිබේ.

මීට පෙර 2013 වසරේදී සාමිනා බායිග් එම දක්ෂතාව දැක්වූ පළමුවැනි පාකිස්තාන කාන්තාව විය. එසේම මෙවර කඳුනැගීමේ වාරයේදී එවරස්ට් කන්ද තරණය කළ නේපාල නොවන පළමුවැනි කඳුනගින්නා වන්නේද නායිලාය. ඩුබායි නුවර පදිංචි හිටපු බැංකු නිලධාරිනියක වන නායිලා දරුවන් දෙදෙනකුගේ මවකි.

මාධ්‍ය වාර්තා අනුව ඇය කදු නැගීම වෙනුවෙන්ම දැනට වසර කිහිපයට පෙර සිය වෘත්තියට සමුදී තිබේ. නාලියා මෙහිදී පොළොව මට්ටමේ සිට මීටර් 8,849ක උසක් තරණය කරමින් මෙම ජයග්‍රණය ලබාගෙන තිබේ.

ඇගේ සහායකවරයා ලෙස පසාන්ග් ටෙම්බා ෂර්පාවරයා කටයුතු කර තිබේ. මෙම සාර්ථකත්වයත් සමග මීටර් 8,000කටවඩා වැඩි උසකින් යුත් කදු පහක් තරණය කර ඇති එකම පාකිස්තාන කාන්තාව බවටත් ඇය පත්ව සිටියි. ඇය වසර දෙකක කාලයකදී  එවරස්ට් කන්ද ඇතුළුව නේපාලයේ අත්තාපුර්තා කන්ද, K2 කන්ද මෙන්ම ගෂෙබ්රුම් I සහ ගෂෙබ්රුම් II යන කඳු තරණය කර තිබේ.

මේ අතර, නායිලා පසුගියදා ලොව සිව්වැනියට උසම කන්ද ලෙස සැලකෙන නේපාලයේ ලොට්ස් කන්ද තරණය කිරීමටද සමත් වූවාය. එය මීටර් 8,516ක උසකින් යුක්තය. ඇයත් සමග මෙම ගමන සදහා තවත් පාකිස්තාන කඳුනගින්නියක වන නාදියා අසාද්ද එක්ව සිට ඇත. ඇය මේ වසරේ කඳුනැගීමේ වාරයේදී මීටර් 8,000ට වැඩි කඳු තුනක් තරණය කර ඇත. එම සංඛ්‍යාව පහක් දක්වා වැඩි කරගැනීම අපේක්ෂාව බවද ඇය පවසා තිබේ.