පානදුර ප්රදේශයේ ප්රධාන පෙළේ සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කර, අශෝභන අන්දමින් හැසිරුණ බව කියන පාසල් සිසුවියන් දෙදෙනකු, සිසුවකු ඇතුළු හය දෙනකු පෙරේදා (20) පස්වරුවේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයකු, තරුණියන් දෙදෙනකු ද වන බව ද පොලීසිය කීය.
මත්පැන් පානය කළ තරුණ තරුණියන් පිරිසක් පානදුර ප්රදේශයේ හෝටලයක් අසල අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ප්රදේශවාසීන්ගෙන් ලද දුරකතන ඇමතුම් මත ක්ෂණිකව ක්රියාත්මක වූ පානදුර අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ස්ථානයට ළඟා වීමේදී ඔවුන් මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම් වූ බව පොලීසිය කියයි. ඔවුන් සියලු දෙනාම මත්පැන් පානය කර සිටි බැවින් රියැදුරු තරුණයා ඇතුළු හයදෙනාම පොලීසියට රැගෙන ආ බවත්, ගැහැනු ළමයින් තිදෙනා ශීලාචාර නොවන ඇඳුම් ඇඳ සිටි බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් කළුතර සහ ඒ අවට පදිංචිකරුවන් බවත්, කළුතර සිට පානදුර වෙරළට පැමිණියේ මන්දැයි ඔවුන්ගෙන් විමසීමේදී,
කළුතර ප්රදේශයේ මේ දිනවල පොලිස් වැටලීම් සිදුවන බැවින්, පානදුරට පැමිණි බවට ඔවුන් ප්රකාශ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. ළමයින්ට අවවාද කර, මවුපියන් ගෙන්වා අවවාද කර බාරදුන් බවත්, බීමත්ව රිය පැදවූ තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කීය.
සුමිත් පොතුපිටිය
0 Comments