passport-office-arrest

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 15 දෙනෙකු අද (19) උදෑසන ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.


 විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට ඔවුන් ඇතැමුන් ඉදිරිපත්ව තිබුණි.

මේ අතර ලබන මස 01 වැනිදා සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
ඒ අනුව ඕනෑම අයකුට ඔන්ලයින් මගින් අයදුම්පත පුරවා ඡායාරූප හා අනෙකුත් අවශ්‍ය ලියකියවිලි නවීන තාක්‍ෂණය ඔස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවූ පසු තැපෑලෙන් නිවසටම විදේශ ගමන් බලපත්‍ර එවන බවද ඒ මහතා සඳහන් කරයි.



මෙම ක්‍රමවේදය සකසන තුරු දැනට දින වෙන්කර ගෙන සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුව ඇති අතර මෙබඳු වංචාවන් ඉදිරියට සිදු නොවනු ඇතැයි දන්වා තිබේ.