passport-online

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයැදුම් කිරීම හෙට (1) සිට අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ, අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදී පැවැසූහ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කමිටුව එහිදී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.අන්තර්ජාලය හරහා වීසා අයැදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩු පාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද  එහිදී සාකච්ඡා කෙරිණි.

විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද කාරක සභාව උපදෙස් දුන්නේය.



පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, එස්.එම්.එම්. මුෂාරෆ්, සාගර කාරියවසම්, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය සහ චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීහු ද විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම යන ආයතනවල නිලධාරීහු ද එම රැස්වීමට සහභාගි වූහ.
 සුජිත් හේවාජුලිගේ‍