pilimatalawa-incident

පිළිමතලාව නගරයේ හෝටලයක ඊයේ (11) අලුයම පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකදී පිරිසක් පහරදීමෙන් කඩුගන්නාව පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීහු පස්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.  තුවාල ලැබූ උපපොලිස් පරීක්ෂකවරයා කඩුගන්නාව රෝහලේද කොස්තාපල්වරුන් සිවුදෙනා මහනුවර ජාතික රෝහලේද ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන කණ්ඩායමේ සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව කඩුගන්නාව පොලිසිය සඳහන් කරයි.



මෙම පොලිස් නිලධාරීන්ට පහර දී පලා ගිය සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලීසිය පරීක්ෂණ  පවත්වයි. කඩුගන්නාව පොලීසියේ පොලිස් පරීක්ෂකවරයකුට සහ කොස්තාපල්වරයකුට ස්ථාන මාරුවක් ලැබී ඇති අතර ඒ වෙනුවෙන් පිළිමතලාව නගරයේ හෝටලයක (10) පෙරේදා රාත්‍රියේ සාදයක් පවත්වා ඇත.  මෙම සාදය සඳහා ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාද පහරකෑමට ලක්වූ කොස්තාපල්වරුන් සිවු දෙනා ඇතුළු කොස්තාපල්වරුන් පස් දෙනකුද සහභාගි වී ඇතැයි පොලිසිය කියයි.

සාදය අතරතුර දී පොලිස් නිලධාරීන් හා එම හෝටලයට පැමිණ සිටි පිරිස් අතර ආරවුලක් හටගෙන ඇතැයි ප්‍රදේශයේ උසස්  පොලිස් නිලධාරියෙක්  පැවැසීය.  ස්ථාන මාරුවීම් ලැබ සිටි පොලිස් පරීක්ෂකවරයා සාදය අවසන්වීමට පෙර හෝටලයෙන් පිටව ගොස් ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි. සාදයට සහභාගි වී සිටි පොලිස් නිලධාරීන් පස්දෙනා එය අවසන් වී ඊයේ අලුයම් කාලයේ පිළිමතලාව නගරයේ පිහිටි පාලම අසලට පැමිණ සිටියදී හෝටලයේ ගැටුම ඇති කරගත් පිරිස ද එහි පැමිණ පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි එම නිලධාරියා කීවේය.



පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් අතර ස්ථාන මාරුවීම් ලැබ සිටි කොස්තාපල්වරයාද සිටින බව පොලීසිය කියයි. පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මත කඩුගන්නාව පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ එම කණ්ඩායම භාරව සිටි උපපොලිස් පරීක්ෂකවරයාටද පහරදී තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි. කඩුගන්නාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය