police-bus-galle

ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් බස් රථයක ටැංකියේ තිබෙන (ඩීසල්) අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ස්ථානයක දී නීති විරෝධී ලෙස ඉවත් කරමින් සිටි පොලිස් බස් රථයේ රියදුරු ඩීසල් ඉන්ධන ලීටර් 11 ක් හා එම බස් රථය ද සමග ඊයේ (3 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි. නිලධාරීන් පිරිසක් කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් බස්සවා ආපසු එන අතරතුර රියැදුරු කොස්තාපල්වරයා මෙලෙස මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයට නුදුරින් පෞද්ගලික ස්ථානයක බස් රථය ගාල් කර ටැංකියේ තිබූ ඩීසල් ඉවත්කර මුදලට විකිණීමේ අරමුණෙන් රාජකාරියට පටහැනි ක්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කියයි.



අත්අඩංගුවට ගත් සැකකාර  පොලිස් කොස්තාපල්වරයා හබරාදූව පොලිස් වසමේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. රජයේ දේපළ වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ දේපළක් වන පොලිස් බස් රථය පෞද්ගලික පරිශ්‍රයකට ඇතුළු කර ගැනීමට අනුබල දී ඉන් ඉන්ධන බෑමට අනුබල දුන්  මොරගල්ල ප්‍රදේශයේ පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. පොලිස් බස් රථයෙන් ඉන්ධන ඉවත් කිරීමට උපයෝගී කරගත් අඩි අටක් පමණ දිග ප්ලාස්ටික් බටයක් හා ඩීසල් පිරවීමට යොදාගත් ප්ලාස්ටික් බැරලයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

තුසිත කුමාර ද සිල්වා