police-dance-kelaniya

කැලණිය ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර පොලිස්නිල ඇඳුමෙන් වේදිකාවට නැග රංගනයක නිරත වූ පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පනස් දෙහැවිරිදි කොස්තාපල්වරයෙකි. කැලණි නදී ක්‍රීඩා පිටියේදී ඉකුත් 30 වැනිදා මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇති අතර කොස්තාපල්වරයා එහි ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටිය දී වේදිකාවට නැග මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවද පොලිසිය  පවසයි.



කැලණිය සහකාර පොලිස් අධිකාරි මහින්ද විල්ලෝරාච්චි මහතා මේ පිළිබඳව විමර්ශනයක් කර කොස්තාපල්වරයා පෙරේදා (01) සිට වැඩ තහනමට ලක්කර ඇති බව පොලිසිය පවසයි. සංගීත කණ්ඩායමේ ගායකයකු ගීතයක් ගායනා කරන අවස්ථාවේ මෙම කොස්තාපල්වරයා වේදිකාවට ගොඩවී නර්තනයේ යෙදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

වේදිකාව මත නර්තනයේ යෙදුණු  කොස්තාපල්වරයා සංවිධායකයන් කිහිප දෙනකු එක්වී පසුව බිමට බස්සවා ඇතැයි ද පොලිසිය කියයි. මෙම සංගීත සංදර්ශනය ඉකුත් 30 වැනිදා රාත්‍රියේ පැවති අතර එය රාත්‍රී 12 ට නතර කරන ලෙස පෑලියගොඩ මූලස්ථාන පොලිසිය සංවිධායක මණ්ඩලයට කල් තියාම දැනුම් දී තිබී ඇත. වැඩිපුර පැය භාගයක කාලයක් සංගීත සංදර්ශනය පවත්වාගෙන යෑමට ලබාදෙන ලෙස සංවිධායක මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව පොලිසිය එම කාලය ලබා දී තිබිණි.



දී තිබූ කාලය ද ඉක්මවා සංගීත සංදර්ශනය පවත්වාගෙන ගිය බැවින්, එය නතර කරන ලෙස සංවිධායක මණ්ඩලයට දැනුම් දෙන ලෙස එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කණ්ඩායම භාර නිලධාරියා මෙම කොස්තාපල්වරයාට උපදෙස් දී ඇතැයි කියති. කොස්තාපල්වරයා වේදිකාවට ගොඩ වී සංගීතය සංදර්ශනය නතර කිරීමට උපදෙස් ලබා දෙනවා වෙනුවට ගායකයාගේ ගායනයට අනුව නර්තනයේ යෙදීමට පටන්ගෙන ඇතැයි එම නිලධාරියා කීය. නර්තනයේ යෙදී සිටි කොස්තාපල්වරයා සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනකු එක්ව වේදිකාවෙන් බිමට බස්සවා ඇත්තේ ඉන් පසුවය.
ඉන්දිකා රාමනායක