pothuhara-dalada-police

පොතුහැර පොලිස් වසමට අයත් මහපිටියවත්ත අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යමින් පිරිත් බලයෙන් ලෙඩ සුව කරන බව කියන පුද්ගලයකුගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි තම පියා මියගොස් ඇති බවට මියගිය පුද්ගලයාගේ පුතා පොතුහැර පොලීසියට පසුගිය 8 දා පැමිණිලි කර ඇති බව වාර්තා වේ. කොළඹ පාර, බලපිටිය යන ලිපිනයෙහි පදිංචි සුපුන් චන්ද්‍රසිරි තාබා නමැත්තකු විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත.



අවුරුදු 77 ක් වන, ජිනදාස තාබා නමැති තම පියා පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටිය දී පිරිත් බලයෙන් රෝග සුව කරන බව කියන පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන පුද්ගලයකු වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගත් බවද අවසානයේ දී එම ප්‍රතිකාර වලින් සුවයක් නොලැබ එම ප්‍රතිකාර හේතුවෙන්ම තම පියා මිය ගිය බව ද ඔහුගේ පැමිණිල්ල මගින් කියා ඇති බව පැවසේ.

එම පුද්ගලයාගේ ප්‍රතිකාර වලින් රෝගී තත්වය උත්සන්න වීම වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තම පියා මියගොස් ඇති බවද ඉහත පුද්ගලයාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් තම පියා මිය ගිය බවද ඔහු තම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල දිසාව බාර නියොජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහත්වරුන්ගේ උපදෙස් අනුව පොතුහැර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යමින් ජනතාව රවටන බවට මීට පෙර ජනාධිපතිවරයාට පවා පැමිණිලි කර තිබූ අතර ඉන් පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැමිණ එම මාලිගා ආකෘතිය සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. ව්‍යාජ දළදා මාලිගාව පවත්වාගෙන යන අතරේදීම වෛද්‍යවරයකු නොවන එම තැනැත්තා එම ස්ථානයේදීම පිරිත් බලයෙන් ලෙඩ රෝග සුවපත් කරන බවට ද ප්‍රසිද්ධ වී තිබූ අතර ඊට ද ජනතා විරෝධය එල්ලවී තිබිණි.
 පුෂ්පකුමාර ජයරත්න