prison-officer-incident

බන්ධනාගාර නියාමකවරයකුට අයත්ව කුඹල්ඔලුව ප්‍රදේශයේ පිහිටි වත්තකට ඊයේ (30) අලුයම් කාලයේ ඇතුළු වී පොල්ගෙඩි විස්සක් හොරෙන් කැඩූ බව කියන පුද්ගලයකු අල්ලාගෙන කට කැපීම නිසා එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන සිවිල් සේවකයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසියේ නිලධාරියෙක්  පැවැසීය. සැකපිට අත්අඩංගුවට ගත් මොහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කට ප්‍රදේශයට අමතරව

මෙම පුද්ගලයාගේ සිරුරේ තවත් කැපුම් තුවාල කිහිපයක් පෙනෙන්නට ඇති බව පොලිසිය කියයි.වත්තේ අයිතිකරු වන බන්ධනාගාර නියාමකවරයා සහ ඔහුගේ සහෝදරයා ප්‍රදේශයේ හරක් හොරකම් සිදුවන නිසා ඒ සෙවිල්ලෙන් පසුවී ඇත. මෙසේ සෙවිල්ලෙන් සිටින අතරවාරයේ වත්තට කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළුවී සිටින බව දැක එක් අයකු අල්ලාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇතැයි කියති. මේ අවස්ථාවේ අවට සිටි පිරිසක් ද පැමිණ  ඇති බව පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පොලිසියේ  කණ්ඩායමක් එම වත්තට ගිය අවස්ථාවේ අල්ලාගෙන සිටි එම පුද්ගලයා පොලිසියට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තුවාල ලබා සිටි නිසා පොලිසිය මැදිහත්වී වහා ඔහු රෝහල්ගත කෙරිණි. පොල් ගෙඩි විස්සක් බහා තිබූ උරයක් ද පිහියක් සහ සැකකරුවන් දෙදෙනා පැමිණි බව කියන යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයන් දෙදෙනකු වත්තට ඇතුළුවී හොරෙන් පොල් කඩා ඇති අතර ඉන් අයකු අල්ලා ගත් බවට බන්ධනාගාර නියාමකවරයා විසින් අංගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. හොරෙන් පොල් කැඩූ බව කියන පුද්ගලයාට පිහියකින් තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය