ranil-message

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා, පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

මෙවැනි කණ්ඩායම් පසුගිය කාලය පුරාම රටේ තැන් තැන්වලින් මතු වූ අතර, ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම කඩිනම් තීරණය  ගෙන ඇත.



එම බුද්ධි තොරතුරු ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට ඊයේ (29) උපදෙස් දුන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ආරම්භ කර තිබියදී ආගමික සංහිඳියාව බිඳ දමමින්, ජන කොටස් අතර විරසකයක් ඇති කර, රට යළි කඩා වැට්ටවීමට උත්සාහයක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.



මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින්, ආගමික සංහිඳියාවට බාධා වන කරුණු සමාජයට පැමිණීමට පෙර, ඒවා වළක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන පොලිස් ඒකකයට පැවැරෙනු ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවැසීය.
අංජුල මහික වීරරත්න