rice-avurudu-waist

අඩු ආදායම්ලාභීන්ට බෙදා දීමට සූදානම් කර තිබූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් කිලෝ 4,860ක තොගයක්  වවුනියාව, කුමාන්කුලම ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් 27 දා සොයාගත් බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ බෙදාහැරීමට රජයෙන් දී තිබූ සහල් තොගයක් මෙලෙස සොයාගත් බව එම කාර්යාලය සඳහන් කරයි.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂණයකදී කූමාන්කුලම ග්‍රාම නිලධාරි කාර්යාලයේ තිබී  සහල් තොගය සොයාගෙන ඇත.

සහල් කිලෝ දහය බැගින් වූ උර 486ක් එහි තිබී හමු වූ බවත්, එම සහල් තොගය භාවිතයට ගත නොහැකි ලෙස ගුල්ලන් සහ පණුවන් ගසා තිබූ බවත්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පැවැසූහ. අඩු ආදායම්ලාභී පවුල්වලට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර, කිලෝ දහය බැගින් මෙම සහල් ලබාදීමට ග්‍රාම නිලධාරිවරයාට දී ඇතත්, ඒවා බෙදා නොදී, මාස ගණනක් තිස්සේ තිබීම හේතුවෙන්, සහල් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක තිබූ බව සහල් පරීක්‍ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සඳහන් කළහ. මේ අතර, ග්‍රාම නිලධාරි කාර්යාලයේ තිබූ සහල් ගබඩාවට මුද්‍රා තැබූ බවත්, ඒ පිළිබඳව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පරීක්‍ෂණ මෙහෙයවති.
සිතුම් චතුරංග