saddarathana

ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට සහ සහජීවනයට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් කළැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන් ලබන 07වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29දා) නියම කළේය. සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් කිහිපයක්ද පක්‍ෂා කිරීමට රහස් පොලීසියට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකාර හිමියන් ඇප මත මුදාහරිනු ලැබුවහොත් සමාජයේ කැළඹීමක් සහ ජාතීන් අතර ගැටීමක් ඇති විය හැකි බවට කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් උන්වහන්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවද සඳහන් කළේය.



පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් රහස් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලීසියේ පරිගණක වෝහාරික විද්‍යා අංශයේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්හ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැකකාර හිමියන් පළ කරන ලද වීඩියෝවලින් ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇති බවත්, ඇතැම් පුද්ගලයන්ට තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බවත් පවසා සිටි රහස් පොලීසිය, සැකකාර හිමියන් පිටුපස විශාල පිරිසක් සිටිමින් පෙළඹවීම් කරන බවට සැකයක් මතු වී ඇති බවත්, ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් හුවමාරු වී ඇති බවද අධිකරණය හමුවේ පැවසීය.



එසේම බැංකු ගිණුම් කිහිපයක ගනුදෙනු සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් එම ගිණුම් පක්‍ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා අදාළ බැංකුවලට නියෝගයක් නිකුත් කරන්නැයිද කළ රහස් පොලීසිය ඉල්ලා සිටියේය. සැකකාර හිමියන් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන කරන බවත්, උන්වහන්සේට ඇප නියම කරනු ලැබුවහොත් සමාජයේ කැළඹීමක් සහ ජාතීන් අතර ගැටීමක් ඇති විය හැකි බවත් සඳහන් කළ රහස් පොලීසිය, විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින හෙයින් උන්වහන්සේ රිමාන්ඩ් බාරයට පත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙරට විවිධ උප සංස්කෘතීන් ඇති බවත්, ඒවා තුළ විවිධ භාෂා රීතීන් ඇති අතර, ඇතැම් භාෂා විලාසයන් දරුණු විය හැකියැයිද පැවසීය. තම සේවාදායක හිමියන් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කළ බවට හෝ ගැටුම් ඇති කළ බවට කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කර නැතැයි පෙන්වාදුන් නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා, සිය සේවාදායක හිමියන් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රහස් පොලීසිය ඉල්ලා සිටි බැංකු ගිණුම් පරීක්‍ෂා කිර්මට අවසර දෙමින් සැකකාර හිමියන් ඊර්මාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස පොලීසියට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු