මීගමුව අධ්‍යාපන කලාපය යටතේ පාලනය වන පාසල් භූමියක වැටි තිබියදී සිසුවකු විසින් අහුලාගෙන බාර දීමෙන් පසුව විදුහල්පති නිල කාමරයේ කබඩ් එකක් තුළ බහා තිබූ රුපියල් හතළිස් දහසක් පමණ වටිනා බ්‍රේස්ලට් එකක් අතුරුදන් වී ඇති බවට කොච්චිකඩේ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
කිසියම් කටයුත්තක් සඳහා පාසලට පැමිණි කාන්තාවකගේ බ්‍රේස්ලට් එක අස්ථානගත වී ඇතත් එය සොයා ගැනීමට නොහැකි වී තිබිණි යැයි පොලීසිය පවසයි.
පාසල් භූමියේ වැටී තිබියදී සිසුවකු විසින් මෙම බ්‍රේස්ලට් එක අහුලාගෙන විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් දෙදෙනකුට බාර දී, විදුහල්පතිනියගේ ද උපදෙස් මත එහි අයිතිකරු සොයා ගන්නා තෙක් පෙට්ටියක බහා කබඩ් එකක් තුළ දමා තිබේ.
නැති වූ බ්‍රේස්ලට් එක පාසල් දරුවකු විසින් අහුලා බාර දී තිබෙන බව දැනගත් එහි අයිතිකාරිය, එහි අනන්‍යතාව තහවුරු කර එය රැගෙන ඒම සඳහා විදුහලට ගොස් ඇතැයි කියති.
පෙට්ටියක බහා කබඩ් එකක් තුළ තිබූ මෙම බ්‍රේස්ලට් එක අතුරුදන් වී ඇති බව දැනගත් එහි අයිතිකාරිය මේ බව කොච්චිකඩේ පොලීසියට පැමිණිලි කර ඇත. මෙම බ්‍රේස්ලට් එකේ අයිතිකාරිය කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
බ්‍රේස්ලට් එක කබඩ් එකක් තුළ සුරක්ෂිතව තිබියදී අතුරුදන් වීම තවමත් අබිරහසක් යැයි පොලීසිය කියයි.
මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා සහ මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්රීනික ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්, විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments