සිය පියාට හිරමනයකින් පහරදී මරණයට පත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය පෙරේදා (20දා) නියෝග කළාය.වැලිපැන්න, ගොඩැල්ලවත්ත පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එම ප්‍රදේශයේ නිවසක ඇඳක් මත පුද්ගලයකු මියගොස් සිටින බවට වැලිපැන්න පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂා කිරීමේදී එම නිවසේ පදිංචි වී සිටි කත්රිආරච්චිගේ දොන් ලයනල් හරිස්චන්ද්‍ර සිරිවර්ධන නමැති 74 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙසේ මියගොස් සිට ඇත.
මියගිය අයගේ බිරිඳ දියණියගේ නිවසේ සිටින අතර සැකකාර පුතා සමග මෙම මියගිය අය නිවසේ ජීවත් වී ඇති අතර පුතා සහ පියා බීමත්ව නිතරම රණ්ඩුකරගන්නා බව ප්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළ මතුගම වැඩබලන මහේස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා විසින් මිය ගිය අයගේ දේහය නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලෙස නියෝග කළේය.
ඒ අතර මෙම මරණය පිළිබඳ සැක පිට මියගිය අයගේ පුතා වැලිපැන්න පොලිස් වසමේ බ්‍රීෆ් වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී වැලිපැන්න පොලීසියට අනුබද්ධව සේවය කරන බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පුතා විසින් පොලීසියට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මියගිය පියා තමා සමග රණ්ඩු වී තම බිරිද සහ කුඩා පුතාව නිවසින් පන්නා දැමීමට කටයුතු කිරීම නිසා තමාට ඇති වූ කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව පියාව ඇඳට තල්ලු කර හිරමනයෙන් පහර දුන් බවයි. වැලිපැන්න පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සුමන කූඩලිගම
0 Comments