southren-rainy-weather

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල, මාත‍ර, හම්බන්තොට,කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැය 24ක කාලයක් බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පහත් බිම් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් තත්ත්වයන්ද වාර්තා වේ. අකුරැස්ස – තවලම මාර්ගය, ඕපාත යන ප්‍රදේශයන් ද ජලයෙන් යටවී ඇත.
 කොටපොළ – මාතර මාර්ගය සහ අකුරැස්ස – දෙනියාය මාර්ගය ද ජලගැලීම් හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇත.
මොරවක නගරයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇති අතර, අලපලාදෙණිය ප්‍රදේශයෙන් නෙළුව – මොරවක මාර්ගයට පස්කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.



දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා අවදානම් සහිත ප්‍ර⁣දේශවල පාසල් නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා තිබෙයි. පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අභිමුව මෙම තීරණයට එළැඹ ඇති බවයි.

නිල්වලා ගඟ ද මේ වනවිට පිටර ගලන බව වාර්තා වෙයි.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ සහ අකුරැස්ස, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයවලට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය සඳහන් කළේය.

මාතර මාවරල ප්‍රදේශයේ පුද්ගලයෙකු  දිය පහරට ගසා ගොස් අතුරුදන් වී ඇති බවටද මේ වනවිට වාර්තාවේ.

ඡායාරූප වල දැක්වෙන්නේ ගාල්ල නෙළුව ප්‍රදේශයේ ගංවතුර තත්වයයි.