sudarma-house-incident-updates

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාර නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී රන් මුදුවක් ඇතුළු රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා දේපළ සොරා ගන්නා ලදැයි කියමින් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක අබිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සැරයන්වරුන් දෙදෙනකු හා කොස්තාපල්වරයකු ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.



මේ අතර පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු හා කොස්තාපල්වරයකු, කොළඹ උතුර, දකුණ, මධ්‍යම යන පොලිස් කොට්ඨාස වෙත ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මෙම නිලධාරීන් පොලිස් විනය සංග්‍රහයේ ඇති විනය විරෝධී ක්‍රියාකර ඇති බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයේදී හෙළිවීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය. මෙම අපරාධ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නිවසේ තිබූ රන් මුදුවක් සුවඳ විලවුන් බෝතල් ඇතුළු රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදකවරයකු විසින් වැලිකඩ පොලිසියට ඉකුත් 11 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව ඉකුත් 11 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ස්වසන අපහසුතාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට එදින ඇතුළත් කර සිටියදී ඇය එදිනම මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ ඥාතීන් සහ වෙනත් පාර්ශ්ව සැක පළ කිරීම හේතුවෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.