උණ රෝගය සෑදී අසනීපව සිටි බිලිඳු දියණියට ප්‍රතිකාර ලබා ගැනීමට තංගල්ලේ පෞද්ගලික රෝහලකට පැමිණ ආපසු අඟුණකොළපැලැස්සේ නිවෙස බලා යමින් සිටි එකම පවුලේ පස්දෙනකු රැගත් වෑන් රියක් ඉකුත් 12 වැනිදා රාත්‍රි හතට පමණ තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් වෑන් රියේ සිටි මාස හතක් වයසැති බිලිඳිය ඛරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලැබූ වෑන් රියේ රියැදුරු ලෙස කටයුතු කළ පියා, මව, දියණියන් තිදෙනා සහ ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. අනතුර සිදුවන විට 43 හැවිරිදි පියා සමඟ අවුරුදු 4 සහ 7 වයසේ පසුවන දියණියන් දෙදෙනා වෑන් රියේ ඉදිරි අසුනේ සිටි බවත් 34 හැවිරිදි මව මියගිය බිලිඳිය සමග පසුපස අසුනක ගමන් කර ඇති බවත් පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ බිලිඳිය අසල්වැසි තරුණයන් දෙදෙනකු විසින් යතුරු පැදියකින් වහා තංගල්ල මූලික රෝහලට රැගෙන විත් ඇති අතර අනතුර සිදු වූ ස්ථානයට එක රොක් වූ ප්‍රදේශවාසීන් අනෙක් තුවාල කරුවන් සුවසැරිය ගිලන් රථයකින් තංගල්ල මූලික රෝහලට රැගෙන විත් ඇතැයි පොලිසිය කියයි.
බිලිඳිය රෝහලට ඇතුළත් කර පැයකට පමණ පසු මියගිය බවත් ඇගේ මව සහ ලොරි රථයේ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගොස් ඇත්තේ වල්පොල හේවාගේ බිනුලි රන්සලා (මාස 7) නමැති බිලිඳියයි. වෑන් රියේ ගමන් ගත් එකම පවුලේ පස්දෙනා කුලසිංගම, අගුණකොලපැලැස්ස ලිපිනයේ පදිංචිකරුවන් වන අතර ලොරි රථයේ රියදුරු තංගල්ල, ඉදිපොකුණගොඩ පදිංචි 32 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
තංගල්ලේ සිට ආරුගම්බේ බලා ගොස් තිබූ ලොරි රථය (12) අලුයම තුනට පමණ නැවත තංගල්ල බලා පැමිණ ඇති අතර අධික වෙහෙස නිසා ලොරි රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා තංගල්ල මූලික රෝහලේදී මියගිය බිලිඳියගේ හදිසි මරණ පරික්ෂණය පැවැත්වූ අතර තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.ජේ.එච්.එස්. චන්දිම මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. මියගිය බිලිඳියගේ පියාවූ වපොල හේවාගේ සංජීව උදාර සම්පත් (අවු. 43) මෙහිදී සාක්කි දුන්නේය. මාර්ගස්ථ රිය අනතුරක් හේතුවෙන් බිලිඳියගේ මොළයට සිදුවූ බරපතළ හානි නිසා මෙම හදිසි මරණය සිදුවී ඇති බව මෙහිදී තීරණය විය.
0 Comments