telecom-desition

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු රජයේ කොටස් පෞද්ගලික අංශයට විකිණීම ජුනි මස 15 වනදා තෙක් අත්හිටුවන බවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (08) ප්‍රතිඥාවක් දුන්නේය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු රජයේ කොටස් පෞද්ගලික අංශයට විකිණීමට රජය ගත් තීරණය නීත්‍යනුකූල බව දැනුම් දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා එය ක්‍රියාත්මක කිරීමට දිගටම කටයුතු කරන බවත් වැඩිදුරටත් දැනුම් දුන්නේය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ.බී. ගුරුසිංහ සහ ලේකම් එච්.කේ. හෙට්ටිආරච්චි මහත්වරුන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු සාමාජිකයන් සහ නීතිපතිවරයා, ඇතුළු පිරිසක් නම් ලැබ සිටිති.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වගඋත්තරකරුවන් මහජන අදහස් විමසීම, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, සේවක අදහස් විමසීම සහ කොටස්කරුවන්ගෙන් අදහස් විමසීමක් කර නැතැයි පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් අධිකරණයට දැනුම් දී ඇත. මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාරදෘශ්‍යභාවයෙන් තොර බවත් එය නීතියට පටහැනි බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ග්‍රාහකයන්  මිලියන 10.2 කට වැඩි පිරිසකට අගතියක් සිදු වන බවද පවසා තිබේ.



වග උත්තර කරුවන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන්, කොටස්කරුවන් සහ  ග්‍රාහකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව ඇති කොටස් පැවරීම පිළිබඳ තීරණයට අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති. පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු රජයේ කොටස් පෞද්ගලික අංශයට විකීණීම ජුනි මස 15 වනදා තෙක් අත්හිටුවන බවට තම සේවාදායකයා ප්‍රතිඥා ලබා දෙන්නේ යැයි පැවසීය.

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීම සඳහා වගඋත්තරකරුවන් අනුගමනය කරන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල යැයි දැනුම් දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කෙසේ වෙතත් මීළඟ නඩු දිනය තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමක් නොකරන්නේ යැයිද කීය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ජුනි මස 15 වැනිදා පෙත්සම සලකා බැලීමට දින නියම කළේය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, ඒ.එච්.එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ ඉල්ලීම කෙරිණි. පෙත්සම වෘත්තීය සමිතියක් විසින් ගොනුකර ඇති බවත් වෘත්තීය සමිතියක් නෛතික පුද්ගලයකු වශයෙන් පිළිගත නොහැකි බවත් ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ තත්වය මත පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙය මහජන සුබසාධන නඩුකරයක් වශයෙන් ඉදිරිපත් කර ඇතැයි පැවසීය. මේ තත්වය අනුව පෙත්සම පවත්වා ගෙන යාමට බාධාවක් මතු නොවන බව පෙන්වා දුන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම විභාගයට ගන්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වග උත්තර කරුවන් වෙනුවෙන් මතු කළ මූලික විරෝධතාව සම්බන්ධ නියෝගය ජූනි මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරු මඩුල්ල පෙත්සම එදින යළි කැඳවීමටද නියම කළේය.
මනෝප්‍රිය ගුණසේකර