telecom-mother-board

රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල අඩංගු රත්‍රන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකරන බව බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දුන් බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබේ.

ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල, මාලඹේ, නවගමුව, අතුරුගිරිය, කොට්ටාව, හෝමාගම ආදී ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රාහක කුටි 9කින් එම තැටි තොගය සොරා ගෙන ඇති අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රාහක කුටි තුනකින් විද්‍යුත් තැටි සොරා ගෙන ඇත. ඉකුත් 25වැනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රාහක කුටියකින් විද්‍යුත් තැටි 15ක් සොරා ගෙන තිබේ.

මෙම සොරකම් හේතුවෙන් දුරකථන  පරිශීලකයන්, වයිෆයි, පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයෝ ලක්ෂ ගණනක් දැඩි අපහසුතාවට පත්වී සිටිති.  විද්‍යුත් තැටි නිෂ්පාදනය කිරීමේදී එක් තැටියකට රත්තරන් සුළු ප්‍රමාණයක් අඩංගු කරන බවත්,

එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීම බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම තැටිවල රත්‍රන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේම අයෙකුට පමණක් බවද ටෙලිකොම්  ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය. නමුත් එම රත්‍රන් මෙරටදී උණුකර ලබාගත නොහැකි බවත්, අනිවාර්යෙන් විදේශ රටක සහායක් ලබා ගත යුතු බවත් එම ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා  තිබේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ