thalassemia-sri-lanka

තැලසීමියා රෝග නිවාරණය අතින් ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව ඇති අතර තැලසීමියා රෝගීන්ගෙන් සියයට තුනක්ම එම රෝග වාහකයන් බව අනාවරණය වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ළමා රෝග අංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා පවසයි.



මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තැලසීමියා රෝගය බහුලව පවතින රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවයි.

තැලසීමියා රෝගය බහුලව පවතින ලෝකයේ අනෙකුත් රටවල් තම ජනතාව අතර මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට හැකි වී ඇති බවද ඔහු පැවසීය.

නමුත් එවැනි සාධනීය තත්ත්වයක් උදාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැත.

"ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ළමුන් 2,000ක් පමණ තැලසීමියා රෝගයට ගොදුරු වේ. තැලසීමියා වාහකයන් අතර විවාහයක් තැලසීමියා රෝග ලක්ෂණ සහිත දරුවන් බිහි කළ හැකිය," මහාචාර්ය මෙත්තානන්ද පැවසීය.

“තැලසීමියාව සම්බන්ධ මිථ්‍යාවන් නිසා බොහෝ දෙනා විවාහ කාලය තුළ තැලසීමියාව ඇති බව වසන් කිරීමට පෙළඹෙනවා.



මෙම රෝගය නිවාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සියලුම වගකිවයුතු පුද්ගලයින් මෙන්ම මහජනතාව දක්වන උදාසීනත්වය,
ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස තහවුරු කිරීමේදී තැලසීමියාව ප්‍රධාන ගැටලුවක් වී ඇත."

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින් තැලසීමියා රෝගීන් 2000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

කුරුණෑගල, රාගම සහ අනුරාධපුර තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් රෝගීන් බහුතරයක් ප්‍රතිකාර ලබනවා. "තැලසීමියා රෝගයෙන් පෙළෙන අයට මසකට වරක් පමණ රුධිර පාරවිලයනය අවශ්‍ය විය හැක. රුධිර පාරවිලයනය ඉතා ආරක්‍ෂිත ය. නමුත් එමගින් ශරීරයේ අතිරික්ත යකඩ තැන්පත් වීමට හේතු විය හැක. ඒ නිසා අතිරික්ත යකඩ ඉවත් කිරීමට ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත" මහාචාර්යවරයා පැවසීය.

එබැවින් විවාහ වීමට පෙර තැලසීමියා රෝගයේ තත්ත්වය හඳුනා ගැනීම සඳහා රටේ සෑම දෙනාම අනිවාර්යයෙන් රුධිර පරීක්‍ෂාවක්‌ කර ගත යුතු බවද හෙතෙම පැවැසීය.

“මෙවැනි වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්වීම තම පුද්ගලික වගකීමක් ලෙස ජනතාව සැලකිය යුතුයි,” මහාචාර්ය මෙත්තානන්ද වැඩිදුරටත් පැවසීය.