thalawathugoda-incident

තලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරාගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා සමඟ සොරාගත් මෝටර් රථය, එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.ව

ෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස කරා යාම සඳහා නැවත මෝටර් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේ දී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම  සොරකම සම්බන්ධයෙන් තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. ලක්ශිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශන වල දී සැක සහිත වාහනයක් රථ ගාල වෙත පැමිණෙන අයුරු හා එය පිට වෙන අයුරු නිරීක්ෂණය කර ඒ ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශන වල දී සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් වී තිබිණි.

ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ නිවෙසක දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු කඩුවෙල වැලි විට ප්‍රදේශයේ බෝඩිමක සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

කඩුවෙල නිවසේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෝටර් රථය ස්කෑන් කර ස්වයංක්‍රීයව පණ ගැන්විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් මෘදුකාංග සහිත යන්ත්‍රයක් මෙන්ම අනෙක් සැකකරු සන්තකයේ ජංගම දුරකතන සඳහා භාවිත කරන විවිධ වර්ගයේ සිම්පත් 2000ට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.එම මෘදුකාංග සහිත යන්ත්‍රය අන්තර්ජාලයේ පළකර තිබූ දැන්වීමක් අනුව රුපියල් 60,000 කට මිලදී ගත් බවට සැකකරු ප්‍රකාශ කර ඇත.සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් මෝටර් රථය මාතර තිහගොඩ ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක සඟවා තිබිය දී එහි ලියාපදිංචි අංක තහඩු දෙක එම ප්‍රදේශයේම ළිඳකට විසි කර තිබිය දී සොයා ගැනීමට හැකි වී තිබේ.මෝටර් රථය සොරා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරුගේ කඩුවෙල නිවෙසට ගොස් මෝටර් රථය තුළ තිබූ වටිනා දෑ ගලවා අනතුරුව මාතර අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ