three-wheel-issue

තෙප්පනාවේ සිට එරත්න විතාරම්පංගුවට කිතුල් හකුරු ගෙන ඒමට කුලී ගමනක් යන   මුවාවෙන් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු එරත්නේදී ඊයේ (11දා) දහවල් ත්‍රිරෝද රථ රියැදුරුට තියුණු ආයුධයකින් පහරදී තුවාල හේතුවෙන් රෝහල් ගතකළ පසු ජීවිතක්ෂයට පත්වූ බවත්, සැකකරු එදින පැය කිහිපයකට පසුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.  මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, කුරුවිට, තෙප්පනාව පදිංචිව සිටි ඇස්වත්තගේ සුමිත් (අවු.54) නමැත්තෙකි.



සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය වූ දින කුරුවිට පොලිස් නිලධාරියෙකු පැමිණිල්ලි විභාගයකට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එරත්න ගඟබඩ සිට විතාරම්පගුවට යන මාර්ගය පෞද්ගලික විදුලි බලාගාරයක් ආසන්නයේ වැස්සෙන් බේරෙන්න අසල නිවසක නතර වී සිට ඇති බවත්, ඈතින් ත්‍රිරෝද රථයක් නවතා, දෙදෙනෙකු කථාකරමින් සිටිනු දැක ඇති බවට පොලීසිය පවසා තිබේ. සුළු වේලාවකින් පසුව එම රථය තුළින් පුද්ගලයෙකු කෑගසමින් ඉදිරියට එද්දී අනෙක් පුද්ගලයා පැනගොස් තිබෙන බවත්, පොලිස් නිලධාරියා අසල්වැසියන්ගේ සහායෙන් වහාම වෙනත් ත්‍රිරෝද රථයකින් තුවාලකරු එරත්න ප්‍රාදේශීය රෝහලට රැගෙන ගිය බවත් එහිදී තුවාලකරු ජීවිතක්ෂයට පත්වූ බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.



සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශයේ තරුණ පිරිස් ඇතුළුව විශාල පිරිසක් එතැනට පැමිණ තිබෙන අතර, සැකකරු අපරාධය කළ ස්ථානයේ සිට කුරුගඟෙන් එගොඩට පලාගොස් තිබුණු අතර, සැකකරුව පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමටත් ඝාතනයට යොදාගත් තියුණු අවියද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් මත කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මිණිපුර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(අජිත්ලාල් ශාන්ත උදය)