thuwan-muthalif

ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් නිදහස් කර සිටියදී බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයාගේ මරණය ඩුබායි රටේ සිටින “ගණේමුල්ල සංජීව” සහ ඉන්දියාවේ සිටින "කිඹුලාඇල පොඩි සුරේෂ් ”නමැත්තන් විසින් දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු හෙළිකරගෙන ඇත.

මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ලබා සැකකරුවන් සිව්දෙනකු අතඅඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිකරගෙන ඇතැයි පොලිසිය කියයි. වෙඩි කරනු ලැබුවේ ගල්බොරැල්ලේ විහාරමහාදේවි මාවතේ පදිංචි ඩබ්ලිව්. අයි. සංජීව (54) නමැති ව්‍යාපාරිකයෙකි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියක්  උපයෝගිකරගෙන මෙම වෙඩි තැබීම කරඇති බවත්, වෙඩි පහර 27 ක් පමණ එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි. මියගිය ව්‍යාපාරිකයාගේ ඝාතනය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුකර ඇති බව පොලිසිය පවසයි. මියගිය ව්‍යාපාරිකයාගේ ඥාති පුතකු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත්, ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

එම පුද්ගලයා තවත් පිරිසක්  සමග  බොරැල්ල සීවලීපුර මහල් නිවාසක දී තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ වී ඇති බව පොලිසිය කියයි. එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන බොරැල්ලේ “චුට්ට නැමැත්තාගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි. එම සිද්ධියට පළිගැනීම සඳහා ගණේමුල්ල සංජීව හා කිඹුලා ඇළ පොඩි සුරේෂ්  නමැති සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ ආධාරකරුවන් යොදා මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බව ද පොලිසිය පවසයි.
ඉන්දිකා රාමනායක