tik-tok-bike-race-maraine-drive

ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනකු යතුරුපැදි පහක් සමඟ බම්බලපිටිය මුහුදු මාවතේ දී පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

යතුරු පැදි 500 කට ආසන්න සංඛ්‍යාවක් බම්බලපිටිය මුහුදු මාර්ගයේ වාහනවලට සහ පදිකයන්ගේ ජීවිත හා දේපළවලට හානි වන ආකාරයෙන් වෙට්ටු දමමින් සහ තනි රෝදයෙන් ධාවනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සැකකාර තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.



අත්අඩංගුවට ගත් තරුණයන් ටික් ටොක් සමාජ ජාල හරහා සම්බන්ධ කරගත් සංවිධාකයන් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද යන්න විමර්ශනවල දී අනාවරණය කරගෙන රථවාහන වැරැද්දකට එහා ගිය අපරාධමය වරදක් ලෙස සලකා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් ටික් ටොක් මගින් එම ප්‍රදේශයට කැඳවා ඇති බවට අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් තරුණයන් අවුරුදු 17ත් 23ත් අතර වයසේ පසුවන අය වන අතර ඔවුහු බත්තරමුල්ල, කිරිබත්ගොඩ, පිළියන්දල, මොරටුව, මඩපාත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.



නියෝජ්‍ය පොලිස්පති (රථවාහන දිශාව ) ඉන්දික හපුගොඩ, හපුගොඩ, අධ්‍යක්ෂ (නාගරික රථවාහන කොට්ඨාසය) කමල් පුෂ්පකුමාර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම කර ඇත.

බිමල් ශ්‍යාමන් ජයසිංහ