tony-hasan-passed-away

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.
චිත්‍රපට ගීත යුග ගායනය හා හින්දි ගීත ගායනය නිසා ඔහු බෙහෙවින් ප්‍රකට විය. එසේම ඉපැරණි චිත්‍රපට ගී නැවත ගැයීම් නිසාද ප්‍රකට විය.
සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක,නිරෝෂා විරාජිනී, මාලනී බුලත් සිංහල,චම්පා කල්හාරි, ලතා වල්පොල හා චාන්දනී හෙට්ටිආරච්චි ආදීන් සමග ඔහු ගීත 40 කට ආසන්න ප්‍රමාණයකට දායකවී තිබෙයි.
ඔහු සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබේ,

“මම මුලින්ම ගීත ගායනා කරන්න පටන් ගත්තේ 1962 අවුරුද්දේ.  මං ඉතාම කුඩා අවධියේදී තමයි ක්ෂේත්‍රයට ආවේ. කරුණාරත්න අබේසේකර මහත්මා සහ ලලිත්. එස්.
මෛත්‍රීපාල මහත්මයා එක්ව කොම්පඤ්ඤ වීදියේ පැවැත්වූ ප්‍රසංගයකදී තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.
කරු අයියයි ලලිත් අයියයි එතැනින් පස්සෙත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම නැසී ගිය මිල්ටන්
පෙරේරා මහත්මයාත් මට බොහෝ උදව් කරලා තියෙනවා.
මගේ මාමා ජනප්‍රිය සරල ගී ගායකයෙක්. ඒ මාමාගේ ගීත තමයි මම මුල් කාලේ ගායනා කළේ.


1966 වසරේ තමයි මම මුලින්ම චිත්‍රපට ගායනය සඳහා යොමු වුණේ. ඒ “ඔබ නැතිනම්” චිත්‍රපටයෙන්.
ආර්. මුත්තුසාමි මහත්මයා තමයි එහි සංගීත අධ්‍යක්ෂවරයා වුණේ. එඩී ජුලියස් තමයි මම ගායනා කළ
මුල්ම ගීතයට රංගනයෙන් දායක වුණේ.
විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ශෂී විජේන්ද්‍ර වගේ නළුවන් රැසකට මම පසුබිම්
ගායකයෙකු විදියට සම්බන්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ චිත්‍රපට 30ක විතර මම ගීත ගායනා කරලා ඇති.
 බොහෝ දෙනෙකු අදටත් හඳුනන්නේ හින්දි ගීත ගායනා ශිල්පියෙක් විදියටයි.
ඒක වුණේ 1964දි. ඒ කාලේ තමයි දෝස්ති චිත්‍රපටය තිරගත වුණේ. එහි තිබුණු හින්දි ගීත මම ආශාවෙන්
ගායනා කළා. ඒ වගේම ඒ ගීතවලට ඉතාම හොඳ ප්‍රතිචාර හම්බ වුණා. එතැනින් පස්සේ බොහෝ
දෙනාට අවශ්‍ය වුණේ මගෙන් හින්දි ගීත අහන්න. මගෙන් හින්දි ගීත ඉල්ලුවා මිසක් බොහෝ අය මගේ සිංහල සින්දු ගැන හෙව්වේ නැහැ. මගේ සිංහල ගීත රාශියක් තියෙනවා. ඒත් මගෙන් හින්දි ගීත අහන්න තමයි හැමෝටම ඕනෑ වුණේ.
 මාත් එක්ක ගීත ගායනා නොකළ සංගීත කණ්ඩායමක් ලංකාවේ නැහැ. එදා ඉඳන් අද වනතුරු
ලංකාවේ තිබුණු සෑම සංගීත කණ්ඩායමක් එක්කම මම ගීත ගායනා කරලා තියෙනවා.“
ඔහුගේ දේහය මේ වන විට මාලිගාවත්ත, මල්ලිකාරාම පාරල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17) පස්වරු06 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකිරීමට නියමිතය.