two-missed-balangoda

දින පහක් ඇතුළත බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. සමනලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයකු ඉකුත් 8 වැනි දින අතුරුදන්ව ඇති අතර ඉකුත් 3 වැනි දින ද තවත් පුද්ගලයකු අතුරුදන්වූ බව පොලිසිය කියයි. මේ අතර ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාම අතුරුදන් වී ඇති ආකාරය අද්භූතජනක බවය. අතුරුදන්ව සිටින පුද්ගලයා තුෂාර සම්පත් නමැති විවාහක පුද්ගලයකු වන අතර ඔහු ඉකුත් 8 වැනි දින උදේ තේ බීමෙන් පසුව තම තේ වත්තේ වැඩට යන බව පවසා නිවසින් පිටව ගිය අතර තවමත් නොපැමිණි බව ද ඔහුගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.



ඔහු දහවල් 11 පමණ වන විටත් නිවසට නොපැමිණි නිසා බිරිය තේ වත්තට ගොස් සොයා බලා ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා පැළඳ සිටි සෙරෙප්පු දෙකෙන් එකක් හා තේ දලු නෙලා ගැනීමට යොදාගත් පොහොර උරයක් ද එහිදී හමුවී ඇත. එම පැමිණිල්ලට අනුව පොලිසිය පෙරේදා (9) දවස පුරා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද අතුරුදන් පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලිසිය කියයි.

මේ අතර, සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයකු ඉකුත් 3 වැනිදා සිට අතුරුදන් වී ඇති බව ද පොලිසිය කියයි. ඔහු අතුරුදන් වී අදට (11) දින අටක් ගත වී ඇතත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි පොලිසිය කියයි.  මෙම ප්‍රදේශයේ නව හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නමැති පෙරපාසල් දරුවකු ද මීට වසර පහකට පමණ ඉහත දී අතුරුදන් වූ අතර

ඔහු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලිසිය කියයි.

සමනලවත්ත ප්‍රදේශයේ නිතර දිවියන් ගැවසෙන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. ප්‍රදේශයේ නිවෙස්වල ඇති කරන සුනඛයින්, බළලුන්, එළුවන්, කුඩා ගව පැටවුන් නිතර නිතර අතුරුදන් වන බව ප්‍රදේශවාසීහු පවසති. අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිසිය ඊයේ (10) දවස පුරාද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. බලංගොඩ පොලිසියේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මේ පිළිබඳව විමර්ශන සිදුකරති.

 වයි.ඒ.එස්. වීරවංශ