ududumbara-incident

මියගිය හමුදා සෙබළකුගේ මව හා පියා වෙනුවෙන් හමුදාවෙන් ඉදිකරන නිවෙසකට අවශ්‍ය දැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලබා නොගත්තැයි උරණව ඔවුන් ආරවුල් ඇති කරගත් එම ව්‍යාපාරිකයාට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව උඩුදුම්බර පොලිසිය පවසයි. මෙම පහර දීම කර ඇත්තේ එම නිවෙස ඉදිකිරීම සඳහා යොදවා සිටි හමුදා සෙබළුන් සිව්දෙනෙකු බවත්, පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසි කියයි.



උඩුදුම්බර දේවින්නේගම පදිංචි තුෂාර විමලසේන නමැති හමුදා සෙබළකු ඉකුත් 2009 වසරේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගොස් ඇති අතර යුද හමුදාව ඔහුගේ මව සහ පියා වෙනුවෙන් එම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් පැවති බව පොලිසිය පවසයි. එම නිවසට අවශ්‍ය දැව ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇති අතර, පහරකෑමට ලක්වූ බව කියන ව්‍යාපාරිකයාගේ මිල ගණන් වැඩි හෙයින් අඩු මිලක් යටතේ වෙනත් පුද්ගලයකුගෙන් දැව මිලදීගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එම ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් හමුදා සෙබළාගේ දෙමාපියන් සමග බහින් බස් වී දින කිහිපයක සිට ආරවුල් ඇති කරගෙන ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වූ ඉකුත් 28 වැනිදා එම ව්‍යාපාරිකයා බීමතින් පැමිණ හමුදා සෙබළාගේ මවුපියන් සමග ආරවුල් ඇති කරනෙ ඇති අතර ආරවුල දුරදිග ගොස් ඔහු තල්ලු කිරීම හේතුවෙන් ඇතිවූ ආරවුල දුරදිග ගොස් ඔහු තල්ලු කිරීම හේතුවෙන් හමුදා සෙබළාගේ මව බිම ඇද වැටී තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසුව පලායමින් සිට ව්‍යාපාරිකයාට නිවෙසේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි හමුදා සෙබළුන් සිව්දෙනා පහර දී ඇතැයි පොලිසිය  කියයි.පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා බීමතින් ප්‍රදේශවාසීන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 මැලේවීදිය යුද හමුදා කඳවුරට අනුයුක්ත හමුදා සෙබළුන් සිවු දෙනකු බවද පොලිසිය පවසයි.

 ඉන්දිකා රාමනායක