uk-sri-lanka-fraud-sky-news

ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ස්කයි නිවුස් පුවත් සේවය විසින් අනාවරණය කරගනු ලැබ ඇත. විදේශයන් හි සිට එක්සත් රාජධානියට පැමිණීමට බලාපොරොත්තු සේවකයන් පුහුණු වෙනුවෙන් ලබා දෙන වීසා භාවිත කරමින් මෙම මිනිස් ජාවාරම සිදු කරනු ලබන බව එම පුවත් සේවය පෙන්වා දී ඇත. මෙම මිනිස් ජාවාරමට හසු වූ එක් කාන්තාවක ස්කයි නිවුස් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් එක්සත් රාජධානියේ රැකියාවක් ලබා ගැනීමට ස්ටර්ලින් පවුම් 65000 ක මුදලක් ජාවාරම්කරුවන්ට ලබා දුන් බවය.



තමන්ට ඔවුන් ඉංග්‍රීසි භාෂාව සඳහා ඉහළ සමාර්ථයක් තිබෙන බව පෙන්වීම සඳහා ඔවුන් ව්‍යාජ ලෙස අධ්‍යාපන සහතික සහ අනෙකුත් සහතික සාදා දී එක්සත් රාජධානියට වීසා ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් බව ඇය පවසා ඇත. තමන් එක්සත් රාජධානියට පැමිණෙන විට වයස අවුරුදු 12ක නාඳුනන දරුවකු පුත්‍රයා ලෙස පෙන්වා දෙමින් එක්සත් රාජධානියට රැගෙන ආ  බවත් ගුවන් තොටුපොළේ දී පිරිසක් පැමිණ එම දරුවා රැගෙන ගිය බවත් ඇය පවසා ඇත. තමන්ට රැකියාව කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නොවන බව ජාවාරම්කරුවන් පැවැසුවත් එක්සත් රාජධානියට පැමිණි පසු ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි වීමෙන් තමන් අතරමං වූ බවද එම කාන්තාව පවසා ඇත.

එසේම ජාවාරම්කරුවන්ට හසු වූ තවත් පුද්ගලයන් දෙදෙනකු පවසා ඇත්තේ එක්සත් රාජධානියට පැමිණෙන කාන්තාවකගේ සැමියා සහ දරුවා ලෙස පෙනී සිටිමින් එක්සත් රාජධානියට පැමිණි බවත් ඒ සඳහා ස්ටර්ලින් පවුම් 50,000 ක මුදලක් එක් අයකු ගෙවූ බවත්ය.

ගුවන් තොටුපොළේ දී නාඳුනන කාන්තාවක පෙන්වා ඇයගේ සැමියා සහ දරුවා ලෙස පෙනී සිටිමින් එක්සත් රාජධානියට ගමන් කළ යුතු බවත් එසේ කිරීමට අකැමැති නම් ඔවුන් ගෙවූ මුදල් නැවත නොලැබෙන බවත් ජාවාරම් කරුවන් ප්‍රකාශ කළ බව ඔවුන් පවසා ඇත. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ ආකාරයෙන් මෙම ජාවාරම්කරුවන්ට හසු වී ඇති බව ද ස්කයි නිවුස් පුවත් සේවය පෙන්වා දී ඇත.
 විමුක්ති එස්. රුද්‍රිගු