ussapitiya-incident

උස්සාපිටිය මහජන ක්‍රීඩාපිටියේ ජල නළ ගබඩාංගණයේ ඉකුත් 19 වැනිදා පස්වරුවේ  හටගත් ගින්න  සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් හයදෙනකු පොලිසිය විසින් 27 දා අත්අඩංගුවට ගනු ලැබූ බව කියයි.  ජල නළ ගබඩාවේ ඇති වූ හදිසි ගින්න සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් හයදෙනකු බවත් ඉන් පස්දෙනකුම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.



සිසුන් කණ්ඩායම දුම්පානය කිරීම සඳහා යොදාගත් ගිනිකූරක් නොසැලකිලිමත් අයුරින් ඉවතට විසිකිරීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ගින්නෙන් කෝටි 2ක පමණ ජල නළවලට හානි වී ඇති බවත් පොලිසිය කියයි. ශ්‍රී ලංකා රජයේ සහ නෙදර්ලන්ත රජයේ ණය ආධාර මත අසුපිණිඇල්ල ජල යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජලයෝජනා  ක්‍රමය පසුගිය 20 වැනිදා ජනතා අයිතියට පත්කිරීමට පෙර දිනයේ මෙම ජල නළ ගබඩා කර තිබූ ක්‍රීඩාංගණයේ ගින්න හටගෙන ජල නළ විනාශ වී ඇති බව ද පොලිසිය කියයි.



කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ නියෝග මත කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් අරණායක පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනි තබා, අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට වැඩ බලන මහේස්ත්‍රාත් කමණි මේඝසූරිය මහත්මිය නියෝග  කළාය.

පී. ශාන්ත බණ්ඩාර