uswetakeyyawa-incident

බාලවයස්කාර දැරියකට ඇයගේ පෙම්වතා සමඟ රැයක් ගත කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කළ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක කළමනාකරුවකු සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (10) නියම කළේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අපරාධ සිදුවන බවත්, ඊට ලක්වන වින්දිතයන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්වයක් රටේ උද්ගතව ඇති බවත් පවසමින් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය. මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ උස්වැටකෙයියාව ‘සන්සෙට්’ ලැගුම්හලේ කළමනාකරු වන මස්කෙළියේ පදිංචි සිවනාඩියන් සිවරාජ් සහ බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන රාගම පදිංචි රිකාෂ් නිසුල නමැති 17 හැවිරිදි තරුණයෙකි.



බාලවයස්කාර පාසල් දැරියක වන තම දියණිය ඇයගේ පෙම්වතා සමඟ පසුගිය 08 වැනිදා රාත්‍රියේ නිවසින් පැනගිය බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කළ දැරියගේ මව, තම දියණිය සොයා දෙන්නැයි ඉල්ලීමක් ද කළ බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් කඳාන පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වල දී බාලවයස්කාර දැරියගේ පෙම්වතා කාන්තා පොලිස් පරීක්‍ෂක ප්‍රදීපා විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරුවලට අනුව උස්වැටකෙයියාව ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක සිටිය බාලවයස්කාර දැරිය සොයාගත් බවත්, දැරියගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී 08 වැනිදා උස්වැටකෙයියාව ප්‍රදේශයේ ලැගුම්හලක පෙම්වතා සමඟ රාත්‍රිය ගත කළ බවට තොරතුරු හෙළි වූ බවත් දැනුම් දුන් කඳාන පොලිසියේ නිලධාරීහු, දැරියගේ මඟපෙන්වීම අනුව ඔවුන් රාත්‍රිය ගත කළ උස්වැටකෙයියාව ‘සන්සෙට් '  ලැගුම්හල සොයාගත් බවත් දැනුම් දුන්නේය.

උස්වැටකෙයියාව ‛සන්සෙට්’ ලැගුම්හලේ කළමනාකරු වන මස්කෙළියේ පදිංචි සිවනාඩියන් සිවරාජ් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රුපියල් 5000ක මුදලකට මෙම යුවළට හෝටලයේ කාමරයක් දුන් බව පිළිගෙන ඇතැයි ද, බාලවයස්කරුවන්ට ලිංගික කටයුතු සඳහා කාමර පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව ද දැනුම් දුන් පොලිසිය, බාලවයස්කාර දැරිය මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දැනුම් දුන්නේය.



දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අපරාධ සිදුවන බවට වාර්තා පළවන බවත්, මෙවැනි අපරාධවලට ලක්වන වින්දිතයන් තම ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්වයක් රටේ උද්ගතව ඇති බවත් පෙන්වා දුන් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්  පරීක්ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යන හෙයින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුව විදාන මහතා, ලැඟුම්හල්වල කළමනාකරුවන්ගේ නොසැලකිලිමත් කටයුතු හේතුවෙන් සමාජයේ විනාශකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි අවධාරණය කළේය.

එය ඉතා බරපතළ තත්වයක් බවත් මේ තත්වය යටතේ සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් සමාජයේ කැලඹීමක් ඇති විය හැකි බවත් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර ලැගුම්හල් කළමනාකරු සහ දැරියගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය. සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර