vehicle-565

පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565ක් යම් යම් නිලධාරීන් හිතුමතේ පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින් තිඛෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම වාහන අත්‍යවශ්‍යම කටයුත්තකට හැර වෙනත් කටයුතුවලට යොදාගැනීමෙන් වළකින්නැයි උපදෙස් දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා  පැවසීය. ඉදිරියේදී පත්වන නියෝජිතයන් සඳහා බාරදීමට එම වාහන සංචිතවල තබන ලෙසට ද රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත.

පළාත් සභාවල හිටපු මහ ඇමැතිවරුන්, සභානායකවරුන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් පාවිච්චි කළ වාහන 225ක් සහ නගරාධිපතිවරුන්, නගර සභා සහ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන් පාවිච්චි කළ වාහන 340ක් එම සභාවල නිල කාලය අහෝසි වීමෙන් පසුව ඇතැම් නිලධාරීන් මෙලෙස හිතුමතේ පාවිච්චියට යොදාගෙන ඇති  බවට  තොරතුරු ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට එම වාහන 340ක් ලබා දුන්නේ තම අමාත්‍යාංශයෙන් බවත් මෙයට අමතරව ඒවායේ අලුත්වැඩියා කටයුතු ද අමාත්‍යාංශයෙන්ම කර දුන් බවත් වක්කුඹුර මහතා කීවේය.

වාහන මෙලෙස විනාශ වුවහොත් ඉදිරියේදී පත්වන එම සභාවල ප්‍රධානීන්ට අමුතුවෙන් මුදල් වැයකර වාහන මිලදී ගැනීමට සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. දිවයින පුරා සියලුම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීම නිසා එම සභා සියල්ල දැනට පවතින්නේ නිලධාරී පාලනය යටතේය.

සුජිත් හේවාජුලිගේ