wannila-eththo-court

මහියංගණය රඹකැන්ඔය ආශ්‍රිත  වනාන්තරයේ අක්කර 5000ක ඉඩම් බඩ ඉරිඟු වගා කිරීම සඳහා බහුජාතික සමාගමකට  ලබාදීම වළකාලන්නැයි ඉල්ලමින්

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය  හමුවේ ගොනු කළ රිට් පෙත්සම ලබන සැප්තැම්බර් 08වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (02දා) තීරණය කළේය. වැදි ජනතාවගේ  පාරම්පරික නිජභූමි  ආශ්‍රිත අක්කර 5000ක  භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙළි කරමින් බඩ ඉරිඟු වගා කිර්ම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීම හේතුවෙන් වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට මෙන්ම පරිසරයටද තර්ජන  එල්ල වී ඇතැයි සඳහන් කරමින් ආදිවාසී  නායක ඌරුවරිගේ වන්නිලෑඇත්තෝ අධිකරණයේ පිහිට පතා ගොනු කළ පෙත්සම  කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා  බැලූ අධිකරණය එලෙස නියම කළේය.



නීතිවිරෝධී ලෙස  වනාන්තර එලි පෙහෙලි කිර්මට එරෙහිව වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් අභියාචනාධිකරණ  සභාපති විනිසුරුසෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කළේය.

දඹාන කොටබකිනිය  පදිංචි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ, පරිසර යුක්ති  කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කරන  ලද මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්  වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ  ජනරාල් පී.බී.හේමන්ත  ජයසිංහ, මහවැලි සංවර්ධන අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජනරාල් බී.ඒ.සුනිල් එස් පෙරේරා, වන ජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූර්යබණ්ඩාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වනජීවී අමාත්‍ය සී.බී.රත්නායක, ආර්.ඒ.එන් ප්ලාන්ටේෂන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

තම සනුහරේ ජීවන ක්‍රමය රඳා පවතින  මෙම ප්‍රදේශය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන බඩඉරිඟු වගා ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික වැව්ලි සමාගමකට ලබා දී අති බවත් එම වැවිලි සමාගම මේ වනවිට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් එම ප්‍රදේශයේ වනාන්තරයෙන් හෙක්ටයාර 500ක් පමණ එළිපෙහෙළි කරමින් සිටින බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ වනාන්තරය එළිපෙහෙළි කර මෙලෙස ලබා දීම නීතී වීරෝධී මෙන්ම වන සංරක්ෂණ පනත සහ වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත උල්ලංඝනය කිරීමක්  බවද පෙන්වා දෙති.

රඹකැන්ඔය ආශ්‍රිත වනාන්තර එළිපෙහෙළි කරමින් සිදුකරන මෙම කටයුත්තේ දී අලිමංකඩ එළිපෙහෙළි කිරීමක්ද සිදු වන බවත් අලිමංකඩ එළිපෙහෙළි කිරීමෙන්  අලි ඇතුන්ට එහා මෙහා යෑමට බාධක ඇතිවීම නිසා වන අලි ගම් වැදීමේ අවදානමක් ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ කිසිදු  පරිසර ඇගයීම් වාර්තාවක් ලබා නොගෙන, රඹකැන්  ඔයට ජලය සපයන ඇළ මාර්ග අවහිර කරමින් හා ගොඩ කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා සූදානම් වන බව ද පෙන්වා දෙති.

වනාන්තර එළි කරමින්  සිදුකරන බඩඉඟුරු වගා ව්‍යාපෘතිය නිසා සිය වර්ගයාට එදිනෙදා ජීව්කාව කරගෙන යෑමට බාධා ඇති වන අන්දමට විශාල පරිසර හානියක් සිදු වන බව පෙන්වා දෙන ආදීවාසී නායකයා ජාත්‍යන්තර සම්මුතීන් පවා උල්ලංඝනය  කරමින් සිදුකරන මෙම ක්‍රියාව හේතුවෙන් වැදි ජනතාවගේ සම්ප්‍රදායික ජීවන පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇති බවද සඳහන් කොට ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තාවක්  ලබාදෙන තුරු එය. ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයිද වන  අලි කළමනාකරණ සැලැස්ම සකස් කරන තුරු මෙම ප්‍රදේශය අවට අලි වැටක් ඉදිකිරීම වළකාලන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ ජාතික ඉඩම් භාවිතය පිළිබද සැලැස්මක් සකස් කිර්මට බලධාරීන්ට  නියෝග කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිති.

බඩ ඉඟු ව්‍යාපෘතිය  සම්බන්ධයෙන් පරිසර  ඇගයීම් වාර්තාවක් ලබා ගන්නා ලෙස මධ්‍යම  පරිසර අධිකාරියට නියෝග කරන්නැයිද වනය විනාශ කරමින් මේවන විටත් වනාන්තරයට සිදුකොට ඇති හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට අදාළ වැවිලි සමාගමට නියෝගය කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය  පෙත්සම මඟින් අධිකරණයෙන් සහන ඉල්ලා සිටිති. 

වගාව සඳහා පවරා ගන්නා ඉඩම් පිළිබඳ සිතියමක් ඉදිරිපත් කරන ලෙස මීට  පෙර දින අධිකරණය නීතීපතිවරයාට නියම කොට තිබුණත් එම සිතියම ඉදිරිපත් කිරීම  සඳහා දිනයක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීපතිවරයා මෝසමක් මාර්ගයෙන් මීට පෙර දිනයක ඉල්ලීමක් කොට තිබිණි.

මෙම පෙත්සම  කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කරුණු ඉදිර්පත් කරමින් මෙම ඉඩම් පවරා ගැනීමෙන් පෙත්සම්කරුවන් පවසන අන්දමට ආදීවාසීන්ගේ පාරම්පරික ඉඩම් පවරාගෙන නැතැයි දැනුම් දුන්නේය. ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරු  මඩුල්ල පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනිදා  විභාගයට ගැනීමට  තීරණය කළේය. පෙත්සම්කරුවන්   වෙනුවෙන් නීතීඥ රවින්දනාත් දාබරේ මහතා පෙනී සිටියේය.


බුද්ධිමාල් රුබේරු