wellampitiya-theft-nabbed

වැල්ලම්පිටිය ප්‍රදේශයේ රජයේ උසස් නිලධාරියෙකුගේ දෙමහල් නිවෙසකින් රුපියල් දෙකෝටි පනස්හත් ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ, මුදල්, ජංගම දුරකථනයක් හා ටැබ් පරිගණක දෙකක් සොරකම් කළ තරුණයන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය මගින් පෙරේදා (13දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23, 25  හැවිරිදි දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. කිරිබත්ගොඩ නගරයේ අපරාධ නිවාරණ මෙහෙයුමක නිරත වී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සැක කටයුතු ලෙස හැසුරුණු තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ සොරකම හෙළි කර ගැනීමට හැකි වී ඇත.



මේ අවස්ථාවේ එම තරුණයන් දෙදෙනා සෝදිසි කිරීමේදී ඔවුන් සතුව තිබී රන් ආභරණ හමුවී ඇති අතර ඒවා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසකින් සොරකම් කළ රන් ආභරණ බවට අනාවරණය වී තිබේ. පසුව මොවුන් නැවතී සිටි ඊරියවැටිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී තවත් රන් ආභරණ හමුවී ඇති අතර ජංගම දුරකථනය හා ටැබ් පරිගණක දෙක ඊරියවැටිය ප්‍රදේශයේ වෙළෙඳ සැලකට විකුණා තිබියදීත් කරාබු ජෝඩුවක් මරදාන ප්‍රදේශයේ රන් ආභරණ උකස් කරන ආයතනයකට උකස්කර තිබී ද සොයා ගෙන තිබේ.

මොවුන් විසින් සොරකම් කරන ලද රන් ආභරණවලින් කොටසක් කිරිබත්ගොඩ නගරයේ රන් ආභරණ සාප්පුවකට ලබාදී රත් මාලයක් හා පෙන්ඩනයක්ද සාදා ගෙන තිබී ඇත. මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී සිටින මොවුන් දෙමටගොඩ ප්‍රදේශයේ මත්කුඩු අලෙවිකරුවන්ට රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා රන් ආභරණ වරින්වර දී ඒ වෙනුවට මත්කුඩු ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ. අදාළ නිවසේ තිබී සොරකම් කරන ලද මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ පහක් වන අතර මොවුන් විසින් එම මුදල්ද මත්කුඩු පානයට වැය කර ඇති බවට හෙළිවී ඇත.



ඒ අනුව මේ වනවිට මොවුන් විසින් සොරකම් කරන ලද රන් ආභරණවලින් කොටසක් සොයා ගෙන තිබෙන අතර එසේ සොයා ගත් එමරන්ආභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 150ක් පමණ වේ. අත්අඩංගුවට පත් සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කිරිබත්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා, සැරයන් දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
සුදත් පුබුදු කීර්ති