wijedasa-rajapaksa-speaks

අරගලකරුවන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ දේපළ ගිනි තබා විනාශ කිරීමෙන් පසුව ගෙවල් ගිනි තැබීමට තවත් සිය දෙනකුගේ ලැයිස්තුවක් සාදාගෙන සිටි බවටත් ඒ ලැයිස්තුවේ මුලින්ම සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන් බවටත් තොරතුරු අනාවරණය වූයේ යැයි අධිකරණ, ඛන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය.

අනතුරුව කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයාට මේ පිළිබඳව වහාම දැනුම්දී යුද හමුදාව ලවා ස්ථාන තුනකදී වෙඩි තැබීම් තුනක් කළ හෙයින් එම විනාශය වැළකුණු බවද හෙතෙම සඳහන්  කළේය.

අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ප්‍රචණ්ඩකාරීන් විසින් මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයකදීය. අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"මැයි 9 සිද්ධිය ගැන මෙතන සාකච්ඡා කළා.   ප්‍රචණ්ඩකාරී පිරිසක් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න සූදානම් සහිතව ක්‍රියාත්මක වී කටයුතු කළා. මම මේ ගැන යමක් දැනගෙන ජනාධිපතිතුමාට කිහිප වතාවක්ම කතා කරන්න උත්සාහ කළා. ඒත් ඒක කරගන්න  බැරි වුණා. යම් හේතුවක් නිසා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශ වුණා. ඒහේතුව මට මෙතන කියන්න බැහැ.

ඒ වගේම ප්‍රචණ්ඩකාරීන් ගෙවල් ගිනි තැබීමට තවත් සියයකගේ ලයිස්තුවක් හදාගෙන හිටියා. ඒ ලැයිස්තුවේ මුලින්ම ස.ජ.බ මන්ත්‍රීවරුන් සහ දේශපාලනඥයන්. එදා මැයි 10 වැනිදා  හිටියේ ඒ අය රෑ වෙනකං හිටියේ සමඟි ජන බලවේගයේ ඔබතුමාලගේ ගෙවල් ගිනි තියන්න. කණ්ඩායම් කිහිපයක් සූදානම් වෙලා හිටියා. ඒ වෙලාවේ අපි ආරක්ෂක ලේකම්තුමාට මේ ගැන කතා කරලා කිව්වා.

නියෝග දීලා හමුදාව පාරට බස්සන්න කියලා. වෙඩි තියන්න හමුදාවට නියෝග දෙන්න කියලා. ඒ ඉල්ලීම අනුව වෙඩි තැබීම් තුනක් සිද්ධ වුණා. එකක් රත්ගම. එකක් අංගොඩ. අනෙක් එක පිටකෝට්ටේ, ඒ වෙඩි තැබීම් තුන සිද්ධ වුණේ නැත්නම් ඔබතුමාලගේ ගෙවල් ගිනි ගන්නවා. ඒකට තමයි සූදානම තිබුණේ.  වෙන්න ගිය ඒ විනාශය කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමාට අපි කතා කරපු නිසා වැළකුණා.
 සුජිත් හේවාජුලිගේ