Negombo-incident

මීගමුව ප්‍රාදේශීය ලේකම් කේ. අයේෂ් පෙරේරා මහතාගේ සිරුර ඔහුගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී ඊයේ (31) උදේ සොයාගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.  එය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවට පොලිසිය සැක කරයි. ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි ස්ථානයට කැඳවාගෙන ඒමට රියැදුරා නිල රථයෙන් ඔහු පදිංචි නිල නිවසට ඊයේ උදෑසන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. ප්‍රාදේශීය ලේකම්වරයා පෙනෙන්නට නොසිටි බැවින් රියැදුරා විපරම් කර බැලීමේ දී ඔහුගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබෙන අයුරු දැක ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර පසුව පොලිසියට පැමිණිලි කර ඇත.



මීගමුව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පසුව එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළේය. මීගමුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීපති මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද නිල නිවසට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රාදේශීය ලේකම්වරයාගේ බිරිඳ කුළුඳුලේ දරුවකු ප්‍රසූත කිරීමට ගොස් දැඩි ලෙස රෝගාතුර වී මසකට වැඩි කාලයක සිට රාගම පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද පොලිසිය සඳහන් කරයි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා මීගමුව රෝහලට රැගෙන යනු ලැබීය. ජාඇල, මාකේවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රාදේශීය ලේකම්වරයා මිය යනවිට 41 වන වියේ පසුවිය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය