agalawatta-incident

බූරුවා ගැසීමට ඇබ්බැහිවූ පියෙක් පාසල් සිසුවියකවූ  තම 16 හැවිරිදි වැඩිමහල් දියණිය බුරුපොළට ණය දිමට පැමිණෙන පොලී මුදලාලිට විකුණා ඇතැයි අගලවත්ත පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. පොලීකරුවා රහසේ සිසුවියට ලබාදී තිබූ ජංගම දුරකථනය බාප්පාට සහ පුංචි අම්මාට අසුවීම නිසා පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව සැකකාර පියා පෙරේදා (30දා) සවස අත්අඩංගුවට ගෙන ඊයේ (31දා) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව ලබන 13දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එසේම මේ සිදුවීමට අදාළව සිදුකළ පක්ෂණවලදී මෙම දැරියව මීට වසර දෙකකට පෙර සිය මාමා විසින් ද අපයෝජනයට ලක්කර ඇති බවද හෙළිවී තිබේ.



පොලීසිය සැකකාර මාමා සොයා සිදුකළ මෙහෙයුමකදී ප්‍රදේශයෙන් පලා ගොස් කලවානේ තේවත්තක සැඟව සිටියදී ඊයේ (31දා) අත්අඩංගුවට ගෙන තිබේ.  සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පොලියට මුදල් ලබාදුන් පුද්ගලයාද ඊයේ(31දා) අගලවත්ත පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. අගලවත්ත පනාදඬුකන්ද ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනකුගේ මවක හා පියකු විසින් මෙසේ කාලයක් තිස්සේ තම නිවසේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබේ.

කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සූදු පොළට මුදල් පොලියට දීමට වරින් වර මෙම නිවසට පැමිණ තිබෙන අතර සූදුපොළ පවත්වාගෙන ගිය සැකකාර පියා බුරුවා ගැසීමට මේ පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන තිබේ. එම මුදල්වලට හිලව්කිරීමක් ලෙස අදාළ පොලී මුදලාලි සමග ඇසුරක් පවත්වන මෙන් තම වැඩිමහල් දියණියට අනුබල හා උපදෙස් ලබාදී ඇති බවත්, එයට දැරියගේ මවගේ කිසිදු අනුමැතියක් ලැබී නැති බවත් පොලීසිය සඳහන් කරයි.



ඒ අනුව ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවිය සැකකාර පොලීකරුවා විසින් නිවසට පැමිණ හා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වන තෙක් වසරක් තිස්සේ තම මෝටර් රථයෙන් සහ ත්‍රිරෝද රථයකින් විවිධ ස්ථානවලට ගෙන ගොස් අපයෝජනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙයට වසර දෙකකට පෙර (2021 වසරේදී) සිසුවියගේ මාමා කෙනෙකු වන විවාහක පුද්ගලයකු බීමතින් නිවසේ කවුරුත් නැති අවස්ථාවක පැමිණ සිසුවියට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇති බවට ද හෙළි වුණු බවත්, සිසුවිය වෛද්‍ය පක්ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය සඳහන් කරයි.
සුමති කුඩලිගම