ambalangoda-dharmashoka-front-murder

අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසැල ඉදිරිපිටදී ඊයේ (24) රාත්‍රී 10.25 ට පමණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.  
මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ, රන්දෝඹේ පදිංචි සුජිත්සිරි සොයිසා (53) නැමැති අයයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04 ක් යොදා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂණ කාර්යාලය කියයි.

ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශය, ඇල්පිටිය කොට්ඨාශ අපරාධ අංශය, අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂණ කාර්යාලය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල වලට යොදන හිස් පතුරම් කොපු 02 ක් අම්බලන්ගොඩ පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එම නිසාම මෙම වෙඩි තැබීම මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් සිදු කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.  
මියගිය අය අම්බලන්ගොඩ නගරයේ ත්‍රීරෝද රථ කුලීරථ රියදුරෙකු ලෙස කටයුතු කරන බවත් හයර් බලාපොරොත්තුවෙන් ධර්මාශෝක විදුහල ඉදිරිපිට සිය ත්‍රීරෝද රථය නතර කරගෙන සිටියදී මෙසේ වෙඩි වැදීමට ලක්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව සිද්ධිය ඇසින් දුටූවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.


ගාල්ල දෙසින් වෙඩික්කරුවන් පැමිණ තිබෙන බවත් වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔවුන් අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගය ඔස්සේ පලාගොස් තිබෙන බවත් මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සම්බන්ධයෙන් යම් හොඩුවාවක් අම්බලන්ගොඩ පොලීසියට ලැබී තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
මියගිය අයගේ පපුවට වෙඩි පහර 02 ක් වැදී තිබෙන බවද බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මියගිය අය අධික ලෙස මත්පැන් හා මත්දව්‍ය වලට ඇබ්බැහි වී ඇති අයෙකු බවත් මත්දව්‍ය වලට සම්බන්ධ හේතුවක් මෙම ඝාතනයට මූලික වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ, උප පොලිස් පරීක්ෂක උප පොලිස් පරීක්ෂක එස් ආර් බී ගමගේ ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය