නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පදිපිටදී පෙරේදා (24) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියදුරකු මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියය මෙසේ මිය ගොස් ඇත්තේ බලපිටිය, රන්දොඹේ පදිංචි උජිත්සිරි ද සොයිසා නමැති පනස් අට හැවිරිදි තිදරු පියකු බවද පොලිසිය සඳහන් කරයි.
මියගිය තැනැත්තා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ ත්‍රිරෝද රථ ගාලේ කුලී ත්‍රිරෝද රථ රියදුරකු බවත් ඔහු සිය ත්‍රිරෝද රථයෙන් අම්බලන්ගොඩ සිට රන්දාඹේ පිහිටි සිය නිවෙසට යමින් සිටියදී මේ වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති බවත් පොලිසිය කියයි. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු මෙම පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි. මිලි මීටර් නවයේ උණ්ඩ දැමිය හැකි ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බවත් මියගිය පුද්ගලයාගේ සිරුරේ වෙඩි වැදුම් තුවාල හතරක් පමණ ඇති බවත් පොලිසිය කියයි.
බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලුශාන් වඩුතන්තී මහතා වෙඩි තැබීම සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ (25) අලුයම එකට පමණ එහි පැමිණියේය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මිය ගිය තැනැත්තාගේ දේහය බලපිටිය මූලික රෝහලට ගෙන ගොස් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලවා විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය කියයි.
අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ දින විසි තුනක් ඇතුළත තුන්වැනි වෙඩි තැබීම මෙය බව පොලිසිය කියයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධනුක ද සොයිසා මහතාට මැයි 26 වැනිදා උදේ අම්බන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේදී වෙඩි තැබූ බවද පොලිසිය කියයි. එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල සිදුවූ නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහල් ගත කළ බවත් ඔහුට වෙඩි තැබූ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. දිනෙන් දින ඉහළ යමින් පවතින මේ වෙඩි තැබීම වළක්වා ගැනීමේ අරමුණින් අම්බලන්ගොඩ පොලිසිය හා අම්බලන්ගොඩ වෙළෙඳ සංගමය ඒකාබද්ධව අම්බලන්ගොඩ නගරය ආවරණය වන පරිදි ආරක්ෂිත සී.සී. ටී.වී. කැමරා පද්ධතියක්ද පසුගියදා සවි කළේය.
එම ආරක්ෂිත සී.සී.ටී.වී. පද්ධතිය සවිකර ඇති ස්ථානය අසලම පෙරේදා (24) රාත්‍රියේ වෙඩි කැබීම සිදුව ඇත. මේ ඝාතනය සිදුවීමට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට නගරයට පැමිණි රථ වාහන හා සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කර ඇති බවත් පොලිසිය කියයි.
එම්. සුසිල් ප්‍රියන්ත
0 Comments