ambalangoda-school-dewananda-issue

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ නවය වසර සිසුවෙකුට කන පැලෙන්න පහරදුන්නේ යැයි කියන ක්‍රීඩා භාර ආචාර්යවරයකු වතුගෙදර ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී පෙරේදා (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.


සැකකාර ගුරුවරයාගෙන් කනේ පහර කෑ බව කියන සිසුවා කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.


සිසුවා සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු ආවේගයෙන් කටයුතු කර ඇති ගුරුවරයා අමානුෂික ආකාරයට පහරදී ඇති අතර පසුව සිසුවා ඒ බව නිවසට ගොස් පියාට පවසා ඇත. අනතුරුව කුපිතවූ පියා  විදුහලට බලහත්කාරයෙන් ඇතුළු වී කලබල කර තිබේ.
ප්‍රශ්නය කුමක්දැයි විමසන්නට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයාට පහරදීමට සිසුවාගේ පියා කටයුතු කර තිබූ අතර 119 අංකයට ආරක්ෂක අංශ දැනුම්දීමෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිසුවාගේ පියා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංස දේව සමරදිවාකර මහතා නියෝග කර ඇති අතර
චෝදනා ලැබ සිටින ක්‍රීඩා ගුරුවරයා තවම අත්අඩංගුවට ගෙන නැති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ලැබෙන අවස්ථාවේදී, සැකකාර ක්‍රීඩා ගුරුවරයාද තමාට මැර ප්‍රහාරයක් එල්ල වූයේ යැයි කියමින්, බලපිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.