බත්තරමුල්ල මංසන්දිය ආසන්නයේදී වාහනයක ගැටුණු පොලිස් පරික්ෂකවරයකු බරපතළ තුවාල සහිතව එම ස්ථානයේම දමා එම වාහනයේ රියැදුරු පලා ගොස් ඇති බව තලංගම පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, ඇමැති සම්බන්ධීකරණ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි රොහාන් ද සිල්වා (45) නමැති පොලිස් පරීක්ෂකවරයා බවත්, ඔහු අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.
කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පොලිස් පරික්ෂකවරයා නිවාඩු ගොස් රාජකාරියට වාර්තා කිරීම සඳහා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිවේගී මාර්ග බස් රථයකින් කතරගම සිට කොළඹට පැමිණ, ඉකුත් 9 වැනිදා අලුයම 5.10 ට පමණ බත්තරමුල්ලෙන් බැස, රාජකාරියට වාර්තා කිරිම සඳහා පාගමනින් යමින් සිටියදී කිසියම් වාහනයක ගැටී ඇති බව පොලිසිය පවසයි. වාහනයේ ගැටුණු පොලිස් පරීක්ෂවරයා බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී ඇති අතර, අනතුර සිදු කළ රථය ඔහු එම ස්ථානයේම දමා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ලේ ගලන තුවාල සහිතව, සිහිසුන් පුද්ගලයකු මාර්ගයේ වැටී සිටිනු දැක පිරිසක් 1990 ගිලන් රථ සේවාවට දන්වා, එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහු පොලිස් පරීක්ෂවරයකු බව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී කිසිවකුත් නොදැන සිට ඇති අතර, බත්තරමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අනතුරකට ලක්ව අසාධ්‍ය තත්වයෙන් සිටින බවට රෝහල් පොලීසිය තලංගම පොලීසියට දැනුම් දී ඇත.
එම දැනුම්දීම අනුව, තලංගම පොලිස් කණ්ඩායමක් කොළඹ ජාතික රෝහලට ගොස් පරික්ෂා කිරීමේදී, බරපතළ තුවාල ලබා ඇත්තේ පොලිස් පරීක්ෂවරයකු බවට තහවුරු කරගෙන ඇත. මෙම පොලිස් පරික්ෂකවරයා හප්පා පලා ගියේ කුමන ආකාරයේ රථයක් ද යන්න සහ එම රථය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
එම අනතුර සිදු වූ ස්ථානයේම සී.සී.ටී.වී. කැමරා ඇත්තේ එකම වෙළෙඳ සැලක පමණක් බවත්, අකුණක් වැදීම නිසා එම සී.සී.ටී.වී. කැමරා පද්ධතිය දින කීපයක සිට අක්‍රිය වී ඇති බවත් පොලිසිය පවසයි. පොලිස් පරික්ෂකවරයා හප්පා ගිය රථය සොයා දිගටම විමර්ශන පවත්වන බව තලංගම පොලිසිය කියයි.එම රථය හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ අවට කැමරා අනෙකුත් වෙළෙඳ සල්වල සී.සී.ටී.වී. පරික්ෂා කරමින් සිටින බවද පොලිසිය පවසයි.
ඉන්දිකා රාමනායක
0 Comments