best-friend-theft

තම හොඳම මිතුරාගේ නිවස බිඳ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ බව කියන තරුණයකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන කම්හලක යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවය කරන සැකකරු 28 හැවිරිදි තරුණයෙකි.



වාරියපොළ, ඉපලව පදිංචිකරුවකු වන ඔහු කුරුණෑගල, බෞද්ධාලෝක මාවතේ නිවසක තාවකාලිකව ලැගුම්ගෙන සිටියදී මෙම සොරකම් සිදු කර ඇතැයි පැවසේ.

කුරුණෑගල, වෙලන්ගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහුගේ හොඳම මිතුරා විදෙස් රටක සේවය කරයි. ඔහු මෙරටට පැමිණ ආපසු යාමට සූදානම් වූ දිනයේදී ඔහුට සමුදීම සඳහා සැකකාර මිතුරා ද ඔහුගේ නිවසට ගොස් ඇත.

තම පුතු කටුනායක ගුවන් තොටුපළට ඇරලවීමට යාම සඳහා සූදානම්වූ මිතුරාගේ මව රන් මාලයක් පලඳිනු දුටු සැකකරු ‘‘ඇන්ටි, ඔය තරම් වටිනා රත්තරන් මාල දාගෙන කටුනායක යන්න එපා. අතරමගදී මංකොල්ලකාරයෝ වාහනේ නවත්තලා කොල්ලකන්න පුළුවන්’’ යැයි පවසා තිබේ.



එම උපදේශය පිළිගත් මව රන් මාලය ආපසු ගලවා නිවසේ තබා කටුනායක ගුවන් තොටුපළට ගොස් ඇත. මිතුරාට සමුදී නිවසින් පිටව ගිය සැකකරු ස්වල්ප වේලාවකට පසු ආපසු පැමිණ මිතුරාගේ නිවසේ ජනේලයක් බිඳ ඇතුළුවී රුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා රන් භාණ්ඩ රැසක් සහ වටිනා ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ කිහිපයක්ම සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කීවේය.
සොරකම් කිරීමෙන් පසුව ඉදිරිපස දොර ඇර ඉන් පිටවී ඇති සැකකරු පසුව එම දොර ඉබි යතුරකින් අඟුලා ලා තිබේ.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සීසීටීවී පරීක්ෂා වලින් පසු සැකකරු පහසුවෙන් කොටු කරගත් අතර සොරා හොඳම මිතුරා බව දැනගත් පසු මිතුරා පුදුමයට පත්ව ඇත.
සොරාගත් භාණ්ඩ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇත. 


 පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල