bolgoda-accident

පානදුර, දිග්ගල ප්‍රදේශයේ බොල්ගොඩ ගගේ විනෝදයට පේට් ස්කි යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයෙකු ගග හරහා දිවෙන පාලම් පාරුව ගැටගසා තිබෙන කඹයේ පැටලී ඊයේ (25) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ බව පානදුර උතුර පොලීසිය  පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, පානදුර, දිග්ගල,  ශ්‍රීයා මාවතේ පදිංචිව සිටි ඒෂාන් විතාන (අවු.42) නමැති අවිවාහකයෙකි.



මරණකරු පුරුද්දක් වශයෙන් රස්කින් දූපත ආසන්නයේ බොල්ගොඩ ජලාශයේ විනෝදාංශයට පේට්ස්කි පදිමින් සිටින අයෙකු බවත්, ඔහු ඊයේ (25දා) පේට්ස්කි යාත්‍රාවක් පදිමින් විනෝදවෙමින් සිටියදී පෙරවරු 10.05ට පමණ ගඟ හරහා දිවෙන පාලම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී දියේ ගිලී ඇති අතර, ධීවර යාත්‍රා සහ පේට්ස්කි මගින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොලට රැගෙන විත් ත්‍රිරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටී බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක ආර්.ඩබ්. රන්කොත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
  සුමිත් පොතුපිටිය