cd-wicremaratne

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනිදා සිට ධුරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.එම නිල කාමරයේ ගෘහ භාණ්ඩ හැර සෙසු සියලු භාණ්ඩ ඉකුත් 27 වැනිදා සිටම ඉවත් කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. පොලිස්පතිවරයා ඉකුත් 26 වැනිදා සිටම සිය කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබා දීමට පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු වලට බාධා එල්ල වී ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.



ෙශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020  නොවැම්බර් මස පත්වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දින විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් දෙනු ලැබීය. ජනාධිපතිවරයා දුන් එම මාස තුනක සේවා දිගුව ද පසුගිය 26 වැනිදායින් අවසන් වූ අතර ඒ වෙනුවෙන් නව පොලිස්පතිවරයකු පත්කිරීම හෝ සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත නැවත සේවා දිගුවක් ලබා නොදීම හේතුවෙන් දැනට දින 4 ක කාලයක් තිස්සේ පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයකු නොමැත.

මේ හේතුවෙන් දෙපාර්තමේන්තුව අරාජික තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලිස් දෙපාර්තමේන්තුවට දින 4 ක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැතිව කටයුතු කිරීම පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවී ඇති බව ද එම ආරංචි මාර්ග කියයි. දකුණු හා බස්නාහිර පළාත්වල අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන අවස්ථාවක පොලිසිය වෙනුවෙන් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් තීන්දු, තීරණ ලබා දීමට පොලිස්පතිවරයකු නොවීම හේතුවෙන් නිලධාරීන් අර්බුද රැසකට මුහුණ දී ඇති බව ද වාර්තා වේ.

විශ්‍රාම ගිය පොලිස්පතිවරයාට නැවත සේවා දිගුවක් ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර විශ්‍රාම යන පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් මූලස්ථානය මේ දක්වා පොලිස් සම්මාන පෙළපාළියක් ද පවත්වා  නොමැත.  පොලිස්  දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා වශයෙන් පත්වීමට  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන. ලලිත් පතිනායක හා දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සුදුසුකම් ලබා සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
ඉන්දිකා රාමනායක‍