cid-investigation

වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝට්පති ව්‍යාපාරිකයකු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සිටිමින්, කූඨ ලේඛන සකස් කිරීම සහ එම සමාගම්වල වාහන විකුණා වංචා කිරීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ බව කියන, කොළඹ 06 පදිංචි නඬරාජා කනරාජා නොහොත් ' ගනේෂ් ' නමැති කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද අපරාධ ද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.



තමා අධ්‍යක්ෂ ධුරයක් හොබවන පෞද්ගලික ආයතනයේ කොටස් කූඨ ලේඛනයක් සකස් කරමින් මෙම පුද්ගලයා විසින් විකුණනු ලැබ ඇති බවට පැපිලියාන බොරලැස්ගමුව පදිංචි වීරසිංහ මුදලිගේ රොෂාන් වීරසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශ 01හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. එම්. සාජිත් මහතා ඉදිරියේ කළ පැමිණිල්ලකට අනුව, මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

තම පෞද්ගලික සමාගමේ හිටපු අයිතිකරුවකු මෙන්ම කොටස් හිමිකරුවකු වන නඬරාජා කනරාජා යන අය ඔහුගේ කොටස්වලින් සියයට සියයක් ෆස්ලි අහමඩ් අසාර් නමැති ව්‍යාපාරිකයාට විකුණා තිබූ බවත්, එසේ තිබිය දී ඔහු, කාංචන එරික් සිංහාරගේ නමැති අයකුට බලය පවරමින්, ව්‍යාජ ගිවිසුමක් සකස් කර ඇති බවත් පැමිණිල්ලට කරුණු දක්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.මෙම වංචාව සම්බන්ධයෙන් ෆස්ලි අහමඩ් අසාර් යන අය නඩරාජා කනරාජා යන අයට විරුද්ධව තම දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන ඒකක 04හි පැමිණිලි කිරීමෙන් පසු, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව විභාග වෙමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.



මෙම  කෝටිපති ව්‍යාපාරිකයා සිදු කර ඇති වංචා සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකරයන් දෙකක් මෙන්ම, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකර නවයක් ද, පවතින බවට අධිකරණයේ දී කරුණු හෙළි විණි. ඒ අනුව, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය '' බී '' වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

නිමන්ති රණසිංහ