coconut-oil-issue

පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් නිෂ්පාදකයන් පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සඟවා වෙළඳපොළේ කෘත්‍රිම හිඟයක් මතුකර ඇතැයි වෙළඳපොළ ආරංචිමාර්ග සදහන් කරයි. මෙරට මහා පරිමාණ නිෂ්පාදකයන් කීප දෙනකු විසින් මෙලෙස කූඨ ලෙස පොල්තෙල් තොග සඟවා ගැනීම නිසා ඉදිරියේ දී තෙල් බෝතලයක මිල රුපියල් 1000ක් පමණ වීමට ඉඩ ඇති බව ද කොළඹ තොග වෙළෙන්දෝ පවසති. මේ වනවිට වෙළෙඳපොළේ පොල් තෙල් බෝතලයක සිල්ලර මිල රුපියල් 500 සිට විවිධ ගණන් වලට නැග ඇති අතර සිල්ලර වෙළඳසල් බොහොමයක අලෙවි කරන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර ඒවා බව ද පැවසේ.

මේ වන විට ආනයනික පාම් තෙල් මිල පොල්තෙල් මිලට වඩා ඉහළ නිසා පාම් තෙල් කලවම් කිරීමට නොහැකිවීම මත නිෂ්පාදකයන් පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමට උත්සාහ ගන්නා බව ද එම ආරංචි මාර්ග කියයි.‍

පොල්තෙල් බෝතලයක සිල්ලර මිල දෙගුණයකින් එනම් රුපියල් 1000 දක්වා වැඩිකර ගැනීමෙන් පසුව ඊට වඩා මිල අඩු ෆාම්තෙල් ඒවාට කලවම් කිරීමට හැකි වන අතර එම ජාවාරම මගින් අධික ලෙස ලාභ ලැබීම නිෂ්පාදකයන්ගේ අරමුණ වී ඇතැයි පැවසේ. මේ පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙරේදා (17) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් තෙල් මිල ඉහළ දැමීමේ ජාවාරමක නිරතව සිටින බවය.



ෙනිසි අමුද්‍රව්‍ය නොයොදා තත්ත්ව පාලනයකින් තොරව තෙල් නිෂ්පාදනය කරන මේ පිරිස ෆාම් තෙල් මිලට වඩා පොල්තෙල් මිල ඉහළ නැංවීමට දැඩි උත්සාහයක් ගන්නා බව ද රංජිත් විතානගේ මහතා කීය. බිත්තර සහ කුකුළු මස් මිලට සිදුවූ දේ පොල්තෙල් මිලට සිදු නොවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය වග බලා ගත යුතු බව ද විතානගේ මහතා පැවසීය.
රංජන් කස්තුරි